Sinhalese translation of AN HISTORICAL RELATION OF THE ISLAND OF CEYLON by Robert Knox published by Richard Chiswell at London, 1681
අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න
Small Medium Large Larger Largest

ප්‍රස්තාවනා

      හෙළදිව පිලිබඳ තොරතුරු අළලා ඉතිහාස කථා ලියූ විදේශීය දේශපර්යටකයන් අතර,සතළොස් වැනි ශතවර්ෂයේ දී ලංකාව තරණය කළ රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි නැවියා ප්‍රථම ස්ථානය ගන්නේ ය.

      ඈත අතීතයෙහි පටන් ලෝකයේ නොයෙක් රටවල සිට දේශ සංචාරක අමුත්තෝ ලක්දිව පැමිණියෝ ය.ඔවුනතුරෙන් ලෝක ඉතිහාසයේ නම සඳහන් වන ප්‍රතමයා වූ කලී අරාබි නිසොල්ලාසයේ ජනප්‍රිය කථා නායකයා වූ සින්ඩ්බට් නම් නැවියා ය. බැග්ඩෑගඩ්හි හෞරාන්සිබ් අධිරාජයාගේ තානාපතියා වශයෙන් ම නොව සත් සමුදුරෙහි සත් වතාවක් ම අවදානම් ගමන් ගිය නැවියෙකු වශයෙන් ප්‍රසිද්ධ වී,දිවයින් යැයි සිතා තල් මසුන් ගේ පිට උඩට ගොඩ බැස,රිදී පර්වත යැයි සිතා ඇත්කඳ ලිහිණියන් ගේ බිත්තර උඩට නැඟ,මාණික්‍ය සොය සොයා මහකෙළ නාරජුන් පරයන උරගුන් ගේ ගිරිය දිගේ රිංගා,අනන්වේෂිත වීර වික්‍රමයෙන් වියරු වැටී,අනූනවයෙන් බේරී යහතින් ලංකාද්වීපයට සැපත් වූ සින්ඩ්බඩ් නම් නැවියා ක්‍රිස්තු වර්ෂ 808 දී ලක් රජය කළ අනුරාධපුරයේ දෙවැනි දප්පුල රජුගේ ආගන්තුක සත්කාර වින්දේ ය.එවකට ලංකාව සිරන්ඩිබ් නම් විය.

      ත්‍රිපිටකධාරී බෞද්ධ මහ දේශපර්යටක පාහියන් චීනයේ සිට ගෝබී කාන්තාරය හරහා ඉන්දියාව ඔස්සේ තාමුලිප්ති නම් තොටින් ලක්දිවට ගොඩබැස අනුරාධපුරයට පැමිණියේ ය.(399-444) නයිල් ගඟබඩ වෙළහෙළඳාම් කොට ලාභ බඩු සොය සොයා රටින් රට ගිය මිසර වෙළඳ ව්‍යාපාරිකයකු වූ කොස්මස් ත්‍රිකුණාමලයෙන් ගොඩ බැස අනුරාධපුරටය ගියේ ය.ඔහු එන විට කාශ්‍යපයන් සීගිරිය පමණක් නොව,සිය විජිතය පමණක් නොව,සිය ජීවිතය ද අතහැර පරලෝ සැපත් වී සැත්තෑ වසක් ම ඉක්ම ගොස් තිබිණ.එකල ලක්දිව ටැප්‍රාබේන් නම් විය.(540-560) එවකට ලක් රජය කෙළේ මහා කවියකු වශයෙන් ප්‍රකට ව විසූ දෙවැනි මුගලන් රජ ය.සීගිරියේ චිත්‍ර බලා නෙත් පිනවා ගත් හෙතෙම රෝම රාජ්‍යයෙහි ලංකාව සම්බන්ධයෙන් පැතිරී පවත්නා කිර්ති රාවය ද විස්තර කොට රෝම අධිරාජ ක්ලෝඩියස් සීසර් රජුගේ රාජ භවනයට ලංකාවෙන් ගිය තානාපතිවරයා ගෙන ගිය කළු දොදොල්හි රසය තාමත් රෝමයන් ගේ රෝමයක්‌ පාසා ඇති බව කොස්මස් මුගලන් රජුට සැළ කෙළේ ය.

      ග්‍රීසියේ තාරකා ශාස්ත්‍රඥයකු වූ ටොලමි ද,ලංකාවට ගොඩ බැස ඔහුගේ ප්‍රකරණයකට ඇතුළත් කිරීම සඳහා නොයෙක් කරුණු සොයාගත් බව වාර්තා වී ඇත්තේ ය.

      හියුංසාං නම් සුප්‍රකට චීන දේශපර්යටක භික්ෂුන් වහන්සේ අයොධ්‍යා, මිථිලා, ප්‍රයාග. කෞසමබි, ශ්‍රාවස්ති, කපිලවාස්තු, කුසිනාරා, පාටලීපුත්‍ර, නාලන්දා, රාජගෘහ හා ගයාව පසු කොට අනුරාධපුරටය පැමිණියහ.උන්වහන්සේ ලංකාව හා එවකට ලංකා ශාසනය පිලිබඳ තොරතුරු රැසක් ස්වකීය භ්‍රමන වෘත්තාන්තයට ඇතුළත් කළහ.

      නිකොලෝ පෝලෝ ගේ බෑණා වූ ද,මැපියෝ පෝලෝ පුත්‍රයා වූ ද,මාර්කෝ පෝලෝ,වැනිසියෙන් වෙළඳ බඩු ගෙන චීනයේ කුබ්ලයි ඛාන් අධිරාජයා බැහැදකින්නට යන ගමනේ නාත්තන්ඩිය පැත්තෙන් ලක්දිවට ගොඩ බැස්සේ ය.(1256-1320) එවකට ලක්දිව 'ශීලන්' නම් විය.

      පෙරදිග ප්‍රදේශ සොයමින් පරංගි රට සිට පාණදුරය අසලට ගොඩ බට වස්කෝ ද ගාමා අටවැනි වීරපරාක්‍රම බාහු රජු හමුවීම පිණිස වර්ෂ 1484 දී ජයවර්ධන පුරයට ගියේ ය.ඉංග්‍රීසි දේශ සංචාරක සර් ජෝන්  මැන්ඩවිල් ගාල්ලෙන් ලක්දිව ගොඩ බැස කුරුණෑගල ගොස් එතැනින් කන්ද උඩ රටට පිවිස එහි ස්වාභාවික ශ්‍රී විභූතිය දෙනෙතින් උකා බී "අහෝ! ලංකාව ආදම්ගේ උයන යැ"යි පළ කළේ ය. වර්ෂ 1371-1386 අතරතුර ලක් රජය කළ පස්වැනි බුවනෙක බාහු රජුගේ සමයේ සමනල කන්දේ ශ්‍රී පාදය වඳිනු පිණිස අරාබියේ සිට මෙහි පැමිණි ඉබන් බටුටා කුරාන් පාඨ ගයා ලක්දිවට ආශීර්වාද කොට ගියේය.

      ලෝරෙන්සෝ ද අල්මේදා කොළඹට ගොඩ බැස 'පරංගියා කෝට්ටේ ගිය'පාරෙන්,දවස් ගණනක් ගෙවා ජයවර්ධන පුරයට පැමිණ වීරපරාක්‍රම රජු බැහැදුටුවේ ය.ජෙරොනිමෝ ද අසවේදු මුහුදුබඩ කොල්ලකෑවේ ය. රොබට් නොක්ස් අහඹුවෙන් ලක්දිව ගොඩබැස දෙවැනි රාජසිංහ රජුගේ සිර කරුවකු වශයෙන් විසිවසක් ලක්දිව වැස,පෙරළා සිය රටට පලා යන අතරතුරු 'එදා හෙළ දිව' පෙළ ගැසුවේ ය.

      ක්‍රිස්තු වර්ෂ 1660 අප්‍රියෙල් මස 4 වැනි දින ලංකාද්වීපයට ගොඩ බැස, ලක්දිව වාසය කළ විසි වර්ෂය තුළ තමා ලංකාව හා එහි ජනතාවත් ප්‍රජාපාලන ක්‍රමයත් සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත් විස්තර හා ස්වකීය ජිවිත විත්තිය හෙතෙම මෙම ග්‍රන්ථයෙන් අනාවරණය කරන්නේ ය.

      ලංකාවේ වාසය කළ විසි වර්ෂයක් පමණ වූ කාලයෙහි,ලක්දිව ඒ මේ තැන සැරිසරා,සිංහල භාෂාව ද කතා කරන්නට ඉගෙන,සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ද ලංකාවේ පළාත්,ගංගා,නගර,මංමාවත් පිළිබඳ තොරතුරු ද කෘෂිකාර්මික හා ආගමික ප්‍රවෘත්ති ද අසා දැන ගෙන, ඒ සියල්ල සිත්හි ධාරණය කොට, සිය රට පලා යන ගමනේ දී මෙම ග්‍රන්ථය ලියු සැටි ප්‍රශංසාර්භ ය. රොබට් නොක්ස් වර්ෂ 1679 සැප්තැම්බර් මස රට්ලන්ඩ් සගයා ද කැටි ව අනුරාධපුරයට පැමිණ අනුරාධපුරයෙන් බටහිර දෙසට ගමන කොට අරිප්පුව ඔස්සේ මන්නාරමට පැමිණ එතැනින් නැව් නැඟී කොළොම් පුර ඕලන්දක්කාරයන් හමුවට පැමිණියේ ය.ඔවුන් සාදරයෙන් පිළිගත් ලන්දේසි සාමාන්තයා ඔවුන් බතාවියට යවා එතැනින් එංගලන්තයට පිටත් කර හැරියේ ය.

      එංගලන්තයට යන අතරමග නෞකාවේ දී ඇති වූ කාන්සියට ඔසුවක්‌ වන පරිද්දෙන් ලංකාවේ දී ලද අත්දැකීම් ග්‍රන්ථාරූඪ කරන්නට රොබට් නොක්ස් හට සිත් විය.ලන්ඩන් නුවර පැමිණීමෙන් පසු ව රොබට් නොක්ස් ස්වකීය හස්ත ලිඛිතව ස්වකීය පෞද්ගලික විනෝදය සඳහා ළඟ තබා ගත්තේ,එහි ඇති ඓතිහාසික වැදගත් කම් සුළු කොට සැලකු නිසා විය යුතුය.එසේ වුවද නැවේදී ඔහු පොතක් ලියූ බව පෙරදිග ඉන්දියා වෙළඳ එකතුවේ නිලධාරීන් හට දැනගන්නට ලැබිණ.එම වෙළඳ සමාගමේ සැන්ට් ජොසියාවල්ඩ් නම් නිලධාරියෙක්, හස්ත ලිඛිතය ගෙන්වා කියවා බලා එය පොතක් වශයෙන් මුද්‍රණය කිරීම මැනැවැයි සම්මත කළේ ය.රොබට් නොක්ස්ගේ ඥාතිවරයෙකු වූ ජෝන් ස්ටුයිප් විසින් සංශෝධනය කරන ලදුව මෙම ග්‍රන්ථය ප්‍රථම කොට කාණ්ඩ වශයෙන් මුද්‍රණද්වාරයෙන් ප්‍රසිද්ධ වූයේ වර්ෂ 1681 දී ය.

      ලංකාවේ ඉතිහාස කථාන්තරය (Historical Relation of Ceylon) නම් මෙම ග්‍රන්ථයට ඉංග්‍රීසි සාහිත්‍යයෙහි හිමි වන්නේ උසස් තැනකි.ජෝන් බන්යන් හෝ ඩැනියෙල් ඩිෆෝ හෝ තරම් උගතකු වියතකු නොවූ නමුදු, රොබට් නොක්ස්  මේ ග්‍රන්ථයෙන් ඔවුන් හා සම තත්වයකට නො වේ නම්,ඔවුන් හටත් වඩා උසස් තත්වයකට පත් වී ඇත්තේ ය.රොබට් නොක්ස් ජීවත් වූ කාලයට ශත වර්ෂයක් මුලින් ජීවත් වූ බන්යන් ගේ 'පිල්ග්‍රීම්ස් ප්‍රෝග්‍රස් ' (Pilgrim's Progress) නම් ග්‍රන්ථය හුදු මනඃකල්පිත චාරිකාවක විස්තරයක් පමණි.රොබට් නොක්ස් ගේ කෘත්‍යයෙන් ශත වර්ෂයකට පසුව පළ වූ ඩැනියෙල් ඩිෆෝ ගේ 'රොබින්සන් කෘසෝ' (Robinson Crusoe) ද මනඃකල්පිත පුද්ගලයකුගේ පෞද්ගලික සටනක් පිලිබඳ වෘත්තාන්තයකි.සත්‍යාර්ථයෙන් ජිවත් වූ තැනැත්තෙකු ගේ ආත්ම පරිත්‍යාගී ප්‍රයාසයක පුරාවෘත්තයක් හැටියට රොබට් නොක්ස් ගේ ඉතිහාස විස්තරය මේ කෘත්‍ය දෙකම අබිභවා සිටින්නේ ය.

      ස්වකිය ග්‍රන්ථයේ ප්‍රථම සංස්කරණය විකිණි අවසන් වීමෙන් ප්‍රසාදයට පත් වූ රොබට් නොක්ස් මෙසේ පළ කළේය :

      "ලංකාව පිලිබඳ ව මා ලියූ ග්‍රන්ථය කොතරම් ජනාදරයට පාත්‍ර වී ද යත්: එහි ප්‍රථම සංස්කරණයේ පිටපත් සියල්ල විකිණි ගියේ ය.තවත් පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කරන ලද්දේ නම් ඒවාත් ඉතා පහසුවෙන් අලෙවි කරගත හැකිව තිබුණේ ය.එපමණකුත් නොව මගේ පොත ඕලන්ද හා ප්‍රංශ භාෂාවලට පරිවර්තනය කරනු ලැබීමෙන් එහි වැදගත් බව වැඩි විය" යනුයි.

      මෙම සිංහල පරිවර්තනය සඳහා උපයෝගී කර ගන්නා ලද්දේ ග්ලාස්ගෝ හි ජැක්සන් පුත්‍රයන් සහ සමගම විසින් ප්‍රසිද්ධ කරන ලද එම මූල ග්‍රන්ථයේ පුනර් මුද්‍රාංකනයකි.මෙම ග්‍රන්ථයේ ප්‍රථම කාණ්ඩයේ සිංහල පරිවර්තනයක් මෙයින් තිස් වර්ෂයකට පමණ ඉහත දී දර්ශන විශාරද පරවාහැර වජ්‍රඥන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද බව ඇසු මුත්, එම පරිවර්තනයේ පිටපතක් අද දක්නට නැත්තේය.සීමාසහිත එක්සත් ජාතික ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ද මෙම ග්‍රන්ථයේ සංක්ෂිප්ත පරිවර්තනයක් කරන ලද බව ඇසීමු.රොබට් නොක්ස් ගේ මූල ග්‍රන්ථයේ පිටපත් නූතන සමයේ ඉතා විරලය,එහෙත් ලංකා සරසවියේ ඉංග්‍රීසි මහාචාර්ය පදවිය දැරූ ඊ.එෆ්.සී. ලුඩොවයික් මහතා විසින් සකස් කරන ලද "කන්ද උඩරට රාජධානියේ රොබට් නොක්ස්" (Robert Knox in the Kandyan Kingdom) නම් සංක්ෂිප්ත ග්‍රන්ථයක් ඇත.

      ලංකාව සම්බන්ධයෙන් විදේශීය වාර්තාකරුවකු විසින් කරන ලද දීර්ඝතම වූද විශිෂ්ටතම වූද විස්තරය වශයෙන් ඉතිහාසගත වන මේ ග්‍රන්ථය පුරාතන ලංකාවේ සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, ගති ගුණ, ආගම ධර්මය හා භාෂාව ආදී විවිධ කරුණුත්, විශේෂයෙන් කන්ද උඩරට ප්‍රජාපාලන ක්‍රම සම්බන්ධයෙන් මහා වංශාදී ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් ලබා ගත නොහැකි අගනා කරුණු රැසකුත් අනාවරණය කරයි.එහෙත් මෙහි එන සෑම කරුණක් ම සර්ව නිරවද්‍ය නොවේ.එසේ වුව ද ස්වකීය සිර ජීවිතය මුල් අවදියේ දේශයේ භාෂාව පිලිබඳ පටුතර දැනීමක් නොමැතිව මුරකාවලුන්ගේ රැකවරණ යටතේ සිරකරු ජිවීතයක් බඳු නොනිදහස් ජිවිතයක් ගත කරමින් මෙතරම් සවිස්තර ග්‍රන්ථයකට සරිලන තරම් කරුණු රැස් කර ගැනීම සම්බන්ධයෙන් රොබට් නොක්ස් හට පාඨකයන් ගේ නොමද කෘතවේදී භාවය හිමි වන්නේ ය.සිරකරුවකු බවට පත් වී පිතෘවියෝගයෙන් දුක් වෙමින් රොබට් නොක්ස් ගේ දුඃඛිත තත්ත්වයට වැටුණු සෙසු කවරෙකු වුවද මෙතරම් උද්යෝගසම්පන්න ලෙස මේ දේශය පිලිබඳ කරුණු පරික්ෂා නොකරනු ඇත.එහෙත් ඩැනියෙල් ඩිෆෝ ගේ රොබින්සන් කෘසෝ ලෙසින්, අප කථා නායකයාද අනලස් ව, කාර්යයේ නිරත වෙයි; ගෙපැලක් තනා ගනී.දේශය පරික්ෂා කරයි; අන්තිමේ දී විමුක්තිය ද ලබාගෙන සිය රට යයි.  

      දැඩි ක්‍රිස්තු භක්තිකයෙකු වූ රොබට් නොක්ස් බෞද්ධාගම ද ක්‍රිස්තු ආගම අනුව විස්තර කර දක්වන්නට ගිය තැන් කීපයක් එහි වෙයි.බුදුරජාණන් වහන්සේ ගැන නොක්ස් කරන විස්තරය මෙසේ ය:-

      "සත්ත්වයන් ගේ විමොක්ෂයට වග කියන්නා වූ බුද්ධ නම් තවත් මහා දෙවි කෙනෙක් වෙයි.උන්වහන්සේ වරක් මේ පොළො තලයෙහි ප්‍රාදුර්භූත කෙනෙකු හැටියට ඔව්හු (සිංහලයෝ) සලකති.උන්වහන්සේ මේ ලෝකයෙහි සිටි කාලයේ සිරිතක් වශයෙන් 'බෝ ගහ' නම් වූ සෙවනැලි සහිත සුවිශාල වෘක්ෂයක් යට වාඩි වී සිටි බව ඔවුහු විශ්වාස කරති.මේ හේතු කොට ගෙන 'ශුද්ධ' වෘක්ෂයන් හැටියට සලකනු ලබන මේ ගස යට ඔව්හු අද දක්වාත් නොයෙක් පුද පූජා පවත්වා උන්වහන්සේට නමස්කාර කරති.උන්වහන්සේ මේ ලෝකයෙන් වෙන් වී ගියේ 'ආදම්ගේ කන්ද' යන නමින් ප්‍රකට ව මෙම දිවයිනෙහි තිබෙන ඉතා උස වූ කන්ද මුදුනෙනි.උන්වහන්සේ ගේ යයි කියනු ලබන පාද ලාඤ්ඦනයක් මේ කඳු මුදුනෙහි ඇත්තේ ය."

      මෙබඳු සාවද්‍ය තැන් තවත් බොහෝ ය.එබඳු සමහර තැන් අධෝලිපි වශයෙන් මෙම අනුවාදයෙහි විචාරණයට භාජන කොට ඇත්තේ ය.ළපැටි කල තම මෑණියන්ගෙන් ලැබුණු මූලික අධ්‍යාපනයත්, ඉක්බිති නේවාසික පාඨශාලාවකින් ලැබූ ප්‍රථමික අධ්‍යාපනයත් හැර භාෂා ශාස්ත්‍ර විෂයෙහි විශේෂ උසස් අධ්‍යාපනයක් නොලැබූ රොබට් නොක්ස් වැන්නකුගේ අතින් සැපයුණ ද, දේශ ගවේෂකයකු ගේ වග වාර්තාවක් හැටියටත් මුල සිට අග දක්වා චමත්කාරයෙන් යුක්තව කිය හැකි වෘත්තාන්තයක් හැටියටත් 'එදා හෙළ දිව' ලෝක සාහිත්‍යයේ විශිෂ්ට ස්ථානයක් ගන්නේය.

                                                                                                                           ඩේවිඩ් කරුණාරත්නයන්...
1958 ජනවාරි 1 වැනි දින
කොළඹ,නීති කෙටුම්පත්
දෙපාර්තමේන්තුවේ දී ය.

6 comments:

  1. හොද උත්සාහයක් අගෙයි වැඩේ.....ගාමිණී

    ReplyDelete
  2. හදිසියේ අහම්බෙන් දුටුවේ. දැනට කියවිය හැකි සියල්ල කියවීම. ඔබේ මෙහෙවර ඉතාම ඉහළින් අගයකරන්නෙමි !ස්තුතියි!! සුබපතමි.!!1

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මේ පල කිරීමට සහ කාරුණිකව ඉල්ලා සිටින්නේ ඉතුරු ටිකත් ඉක්මනින් පල කරන මෙන්.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මේ පල කිරීමට සහ කාරුණිකව ඉල්ලා සිටින්නේ ඉතුරු ටිකත් ඉක්මනින් පල කරන මෙන්.May the triple gem bless you!

    ReplyDelete
  6. බොහොම හොඳයි මේ වගේ කරුණු අපි වගේ ලමයින්ට.පාසල් වැඩ කටයුතුවලට බෙහෙවින් ඉවහල් වනවා.

    ReplyDelete

ඩේවිඩ් කරුණාරත්නයන් විසින් පරිවර්තනය කොට රචිත " එදා හෙළ දිව " පොතෙන් උපුටා ගන්නා ලදී..