Sinhalese translation of AN HISTORICAL RELATION OF THE ISLAND OF CEYLON by Robert Knox published by Richard Chiswell at London, 1681
අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න
Small Medium Large Larger Largest

1. පරිච්ඡේදය

මා හෙළදිවට ආ සැටි - මගේ උපත හා ළමා කාලය - ළපටි සහෝදරයාහට මා අතින් වූ ඇබැද්දිය - නෞකා ජීවිතයට මුල පෑදුනු සැටි - අපේ අවාසනාවන්ත අවසාන ගමන - ඉන්දියන් සාගරයේ ප්‍රචණ්ඩ කුණාටුවට අසුවී ලංකාද්වීපය ආසන්නයට ගසාගෙන ආ අපේ නෞකාව - අප ලක්දිව සිරකරුවන් වූ සැටි ! 

මා හෙළදිවට ආ සැටි !
      මධ්‍යධරණී සමුද්‍රයේ වෙළඳාමෙහි නියුක්ත වෙළඳ නැවක අණ දෙන නිලදාරියෙකු වූ මා පියා නිරන්තරයෙන් ම වාසය කළේ මහ මුහුද මැද බැවින්, බහ තෝරන වියෙහි දී සිට ම මා හැදුනේ වැඩුනේ, මගේ මවගේ ගුරුහරුකම් අනුව ය.ආගමික භක්තියෙන් අග තැන් පැමිණි මගේ මාතාවගේ හදවතෙහි, දෙවියන් වහන්සේ නිරතුරුවම වාසය කළ සේක.ඇගේ හැම සිතුමක පැතුමක ම, ඇගේ හැම කතාබහක ම දේව භක්තිය ඉස් මතු වී දක්නට තිබුනේ ය.අම්මා අක්කාද කැටුව ගෙතුමක්‌ ගොතන විට හෝ මැහුමක්‌ මහන විට හෝ, ඈ ළඟින් ම බයිබලයක් පෙරළා තබා ගෙන, එහි ගැබ් වූ රසබර කතන්දර මට තෝරා දීම පුරුද්දක් කොට ගත්තා ය.'බැති පුරුදුව1' නම් ගාථා පොතක් මට දුන් මගේ මව, හැමදාම රාත්‍රියේ නින්දට යන්නට ප්‍රථම දේවස්තොත්‍ර පවත්වන්නට මට පුරුදු කළා ය.කොටින් ම,හොඳ හා හාද වී නොහොඳ හා වාද වී වාසය කිරීමේ අනුහස්, හය හතර දැනගත් දා පටන්, මගේ මව මට ඉගැන්වූවා ය.
{1. "Practice of Piety" නම් ගාථා පොත : ස්වකීය මාතාව ඔහුට තෑගි කළ මේ පොතේ පිටපත,ඔහු ලක්දිව සිරකරුවකු බවට පත්වන විටත් ඔහුගේ සාක්කුවේ තිබුණේ ය.}
      මා පාසල් යන වයසට පත්වූ ඉක්බිති, පසු කාලයක වෝසෙස්ටර්හි අග්‍ර රාජගුරු පදවියට පත් වූ ආචාර්ය ජේම්ස් ෆ්ලිම්වුඩ් විසින් රෝහැම්ප්ටන් නගරයේ පවත්වන ලද නේවාසික පාඨශාලාවකට ඇතුල් වී අකුරු උගෙනීමේ වාසනාව මට උදා විය.එවකට මපියාණන් විසූයේ සරේ දිස්ත්‍රික්කයේ විම්බල්ඩන් ග්‍රාමයේ ය.මගේ ජිවිතයේ දී අත්දකින්නට ලැබුණු ප්‍රථම අවාසනාවන්ත සිද්ධිය සිදු වූයේ මේ ස්ථානයේදී ය.

      එය නත්තලට කළින් -දා විය.මගේ වයස අවුරුදු නවයක් වන්නට ඇත.මපියාණන්ගේ සේවකයන්ගෙන් කෙනෙක් කුරුල්ලන් වෙඩි තැබුමට වෙල් එළියේ ගොස් වෙඩි බෙහෙත් නිමා වූ තුවක්කුව ගෙනැවිත් ගෙදර බිත්තියේ හේත්තු කර තිබුණේ ය.නත්තල් ප්‍රීතිය සඳහා තව ද කුරුල්ලෙකු දෙන්නෙකු දඩයම් කර ගැනීම සේවකයාගේ ප්‍රීතිය වූ නිසාදෝ හෙතෙම තවත් වෙඩි බෙහෙත් බිඳක් ගෙන එන්නට ඇතුළු ගබඩාවට ගියේ ය.මේ අතර තුවක්කුව ඇත පත ගෑමේ ස්වභාවික අභිලාශයක් මා සිත තුළ නළියන්නට පටන් ගත.කොකා ගස්සන හැටි මා බලා සිට පුරුදු ය.එහෙයින් මැද මිදුලේ අසුලා කමින් සිටි පරෙයියෙකුට වෙඩි තැබීමේ අදහසින් මම තුවක්කුව එසැවිමි.එහෙත් එහි කඳ කලින් සිත සිටි තරමට වඩා බර වැඩි වූයෙන්, එය අතෙහි නොරැඳී බිම වැටුණේ ය.අවාසනාවක මහත ! එය වැටුණේ බිමට නොව බිම සිටි මගේ තුන් හැවරිදි මගේ මලණුවන්ගේ හිස උඩට ය.තුවක්කුවේ මහත කොණ මේ නොදරුවාගේ නෙතෙහි වැදීම හේතු කොට ගෙන මුළු ගෙයම ගිනි වැදුණේ ය.සිදු වූ ඇබැද්දිය පිලිබඳ පුවත ලන්ඩනයේ සිටි  මපියාණන් හට වහාම සැල කරන ලදින්, හෙතෙම ශල්‍ය ව්යිද්‍යවරයෙකුදු රැගෙන ලහිලහියේම පැමිණියේ ය.මලණුවන්ගේ තුවාලය සුව කරගන්නට පුළුවන් විය.එහෙත් නෙතේ පෙනුම නම් ලබා ගන්නට නොහැකි වුණේ ය.මා ලක්දිව විසි අවුරුදු සිර ජිවිතයක් ගත කර පෙරලා ගම රටට පැමිණි විටත්, ඉතිරි වූ එක ඇසින් දඟකාර අයියා දැක ගැනීමට මගේ සහෝදරයා ජීවත් වුණේ ය.

      මගේ වයස දාහතරක් වන විට, තවත් අළුත් නැවක් තනා ගන්නට මපියාණන්ට පුළුවන් විය.මගේ සිත මේ අලුත් නැවට මතු නොව, නැව් ජිවිතයට ද ඇදී ගියේ මේ අවදියේ ය.එහෙත් මපියාණන්ගේ බලවත් කැමැත්ත වූයේ මා නැවියකු කරවීම නොව විධිමත් අධ්‍යාපනයක් ලබා දී වෙළඳ ව්‍යාපාරිකයෙකු කරවීම ය.එහෙත් දවසක් දා මපියාණන් මුණ ගැසෙන්නට අප නිවසට පැමිණි නැව් කපිතන්වරුන් කීප දෙනෙකු පියා හා සල්ලාපයේ යෙදී සිටි මොහොතක, ඒ අසල විමැසිල්ලෙන් ඇහුම්කන් දෙමින් සිටි මා ඔවුන්ගෙන් එකෙකුගේ ඇසෙහි ගැසිණ.

      "ඇයි ඔබේ පුතා, ඔබත් සමග මුහුදට එක්ක නොයන්නේ ?" මේ ඔහු මගේ පියාණන්ගෙන් ඇසූ සැටියි.

     "නැහැ, මා කැමති ඔහු නැවියකු කරන්න නොවෙයි- වෙළෙන්දෙකු කරන්නයි !"

      තාත්තා මෙසේ පවසත් ම කපිතන්වරු මා දෙසට හැරී, "ඔබ කැමති කුමකට දැ ?" යි ප්‍රශ්ණ කළෝ ය.

      "මා කැමති මුහුදු යන්න යි!"  යනු මගේ එක්වන් පිළිතුර විය.මෙම පිළිතුරෙන් උණුසුම් වූ තාත්තාගේ මිත්‍රයෝ, පොඩි එකෙකුගේ සිතැඟි ඉටු නොකිරීම ඔහුගේ මතු ජිවිතයට අවැඩ දායක විය හැකි බවට බණ කියා, මා නැවියකු කරවීමට මපියාණන් හා ගිවිස ගත්තෝ ය.වර්ෂ 1655 හේ දෙසැම්බර් මස 7 දින නැගෙනහිර ඉන්දියා දූපත් බලා යාත්‍රා කළ මපියාගේ නායකත්වය ඇති නෞකාවෙන්, පළමු කොට ෆෝර්ට් සැන්ට් ජෝර්ජ් තොටටත්, ඉක්බිති බෙංගාලයටත් ගිය මම, මපියාණන් සමග බරට ම වෙළඳ බඩු පටවාගෙන 1657 ජූලි මාසයේ දී ලන්ඩන් නුවරට පැමිණියෙමි.

      මේ කාලය වන විට "නැගෙනහිර ඉන්දියා වෙළඳ එකතුවේ1" බලය පිරිහී තිබුණු බැවින් අපේ නැව නිදහස් නැවක් බවටත්, අපි නිදහස් මුහුදු වෙළඳුන් බවටත් පත් වීමු.පෙරදිග ඉන්දියාව ඔස්සේ දෙවැනි වළඳ ගමනක් යන්නට මාපියා ලහිලහියේ ම සුදානම් වූ නමුදු නැව දියත් කරන්නට මද මොහොතකට කලින් ක්‍රොම්වෙල්නැවතත් වරක් ඉන්දියා වෙළඳ එකතුව බලයෙහි පිහිටුවා ස්වාධීන නෞකා මඟින් ඉන්දියාව තරණය කිරීම තහනම් කළේ ය.මේ හේතු කොට ගෙන නැවතත් වරක් ඉන්දියා වෙළඳ එකතුව යටතට වැටුණු අපි 1657 ජනවාරි 21 වැනි දින "ඈන්3" නෞකාවෙන් ගමනාරම්භ කෙළෙමු.මපියාණන්ගේ ජීවිතය විනාශ වී, වඩා වැදගත් වෘත්තීයක් සඳහා කැප කරන්නට තිබුණු මගේ නව යෞවනයෙන් පුරා විසි වසක් සිරකරු ජිවිතයක් ගත කරන්නට සිදු වන පරිද්දෙන්, අති අවාසනාවන්ත 'මාරකය' උදා වූයේ මෙම සමුද්‍රීය මාර්ග පථයේ දී ය.
{1. East India Company                                                     2. Oliver Cromwell
  3. Anne - මෙය එංගලන්තය සතුව පැවති මධ්‍යම ප්‍රමාණයේ නැවක් විය.}

      පුරා වර්ෂයක් ඉන්දියා දේශයේ නැව් තොටින් නැව් තොටට ගොඩ බැස වෙළඳ බඩු පටවාගෙන එංගලන්තයට පෙරළා යාත්‍රා කරන ගමනේ දී අපගේ නෞකාව චණ්ඩ කුණාටුවකට අසු විය.ඉන්දියා සාගරයේ බෙංගාල සමුද්‍රවංකය අති බිහිසුණු බවට පත් කළ මෙම චණ්ඩමාරුතය කොතරම් අකාරුණික වී ද යත්, නෞකා කීපයක් ම මුහුදු බත් විය.අපගේ නෞකාවටද මෙම අවාසනාවන්ත ඉරණම අත් වන්නට ප්‍රථම අපි නැවේ මහ කුඹය කපාලීමු.මේ හේතුකොට ගෙන මුහුදු රකුසාගේ මුව වැටියෙන් බේරී ගන්නට අපට පුළුවන් වුවද, මහ කුඹයක් නොමැතිව ඉදිරි ගමන යාම, කළ නොහැකි දුෂ්කර කාර්‍යයක් විය.එහෙයින් ලංකාද්වීපයේ, කොට්ටියරම් වරාය විපතට පත් අපට පිහිට වෙතියි විශ්වාස කරන ලදී.එහෙයින් රෙදිපිළි ද රැගෙන අපගේ නෞකාව කොට්ටියරම් වාරයට යා යුතු බවත්, නැවට කුඹයක් තනා ගන්නාතුරු අප එහි වෙළඳාම් කළ යුතු බවත් ෆෝර්ට් සැන්ට් ජෝර්ජ්1 හි බ්‍රිතානි වෙළඳ නියෝජිත තැන්පත් තෝමස් වෙම්බර්ස් මහතා අපට දන්වා සිටියේ ය.මේ අනුව, අභිනවයෙන් කුඹයක් තනා ගන්නාතුරු වෙළහෙළඳාම් කිරීමේ බලාපොරොත්තුවෙන් හැකි තරම් බඩු භාන්ඩ ද රැගෙන අපි ලංකාද්වීපයේ වෙරළට ගොඩ බැස්සෙමු.

      නෞකාව වාරයේ රඳවා වෙරළට පැමිණ අනුක්‍රමයෙන් රට මැද්දට ගමන් ගත් අපට පෙනුණේ මෙහි වැසියන් අප කෙරෙහි ලජ්ජාසහගත කුලෑටි ගතියකින් හා අවිශ්වාස කටයුතු හැඟීම්වලින් පසුවන බව ය.පුදුමයක් නැති වෙළඳ ගනුදෙනු සඳහා අපේ ජාතිය2  මේ දිවයිනට ගොඩ බට ප්‍රථම අවස්ථාව මෙය බැවින් මෙහි ජනතාව අප අවිශ්වාස කටයුතු තැනැත්තන් හැටියට සැළකීමේ පුදුමයක් නැති.අපි කොට්ටියාරම් වාරයේ නැංගුරම් ලා නැවේ සිට සිතුණු සිතුණු කවර මොහොතක වුව ද දිවයිනට එන්නට පරුදු වීමු.ගම් මැද්දේ ඇවිද්දෙමු.මෙසේ විසි දවසක් පමණ ගතවන විට අප සමග මිත්‍ර වූ එගම් වැසියෝ අපට ඉතා කාරුණිකව සලකන්නට පටන් ගත්හ.අපට කිසිඳු අතවරයක් නොසිදුවන බව හා අප හැම දෙන සාදරයෙන් පිළිගැනුණු බව මෙම ප්‍රදේශයේ පාලක නිලධාරියා අපට සැලකර සිටි බැවින්, අපි සිත් සේ දවස් ගත කළෙමු.අපේ මුදල්වලින් අපට අවශ්‍ය ආහාර පානාදිය ගන්නට ද අපට පුළුවන් විය.
{ 1. Fort St. George
   2. වෙළඳ ගනුගෙනු සඳහා ඉංග්‍රීසි වර්ගයා ඒ වනතුරු ලක්දිව ගොඩ නොබැස සිටි නමුදු, රොබට් නොක්ස් ලංකාවට ආ මුල්ම ඉංග්‍රීසි ජාතිකයා නොවේ.රල්ෆ් ෆිට්ච් (Ralph Fitch) නම් ඉංග්‍රීසි මනුෂ්‍යයෙක් වර්ෂ 1689 යේ මාර්තු 6 වන දින ලංකාවට ගොඩබැස මේ දිවයින වීරයින්ගෙන් හා පලතුරු වලින්ද පිරීගිය සුන්දර දීපයක් බව පළ කළේය.එහෙත් මොහු පිලිබඳ වැඩි විස්තර වාර්තා වී නැත්තේ ය. }


      මේ වකවානුව වන විට අපගේ පැමිණීම ගැන දැනගත් ලංකාවේ රජතුමා, මගේ හැඟීමේ හැටියට, අප ගැන සැක උපදවා ගන්නට ඇත.එසේ සැක උපදවා ගන්නට ඇත්තේ, අපගේ ගොඩ බැසීමේ අදහස දන්වා රජතුමාට හස්නයක් යවන්නට අපට මේ දක්වාත් නුපුළුවන් වූ නිසා විය යුතු ය.


      මහරජතුමා බලසෙනගකුත් සමග දිසාව කෙනෙකු කොට්ටියාරමට එවී ය.දිසාව තෙමේ වෙරළට පැමිණ, රටේ රජුගෙන් හස්නකුත් රැගෙන පාලක නිලධාරියකු පැමිණ සිටින බවත් තමා හමුවීමට නැවේ කපිතන් තැන වෙරළට පැමිණීම අවශ්‍ය බවත් දන්වා පණිවුඩකරුවකු නෞකාවට එවී ය.මෙම දුතයා සාදරයෙන් පිළිගත් බව දැන්වීමේ ලකුණක් වශයෙන් අපි නෞකාවේ තුවක්කුවලින් වෙඩි මුරයක් පැවැත්වීමි.


      දිසාව විසින් ලද ඇරයුමට පිළිතුරක්  වශයෙන් නැවේ වෙළඳ නායකයා වූ ජෝන් ලව්ලන්ඩ් මහතා ද කැටුව ගොස් දිසාව හමුවන ලෙස නැවේ කපිතාන් හැටියට මපියා මට අණ කළේ ය.අප මේ නිලධාරියා ඉදිරියට පැමිණ වහාම අපගේ වංහුං ඇසූ හෙතෙම අප දින කීයක් මෙහි රැඳෙන්නට බලාපොරොත්තු වන්නේ දැයි පිළිවිසී ය.අප ඉංග්‍රීසි ජාතිකයන් බවත්, දින විස්සකට තිහකට වැඩි කලක් මෙහි සිටින්නට බලාපොරොත්තු නොවන බවත් මහ රජුගේ නැව් තොට හා සමඟ වෙළඳ සම්බන්ධතා පැවැත්වීමට අවසර පතන බවත් අප දන්වා සිටියෙමු.ඉංග්‍රීසීන් ස්වකිය විජිතයට සැපත් වීම ඔහුගේ රජතුමා මහත් වූ ප්‍රීතියෙන් අනුමත කරන බව පැවසූ දිසාව, අපට අවශ්‍ය වන ඇප උපකාරයක් නොවළහා සලස්වා ලන ලෙස මහරජතුමා ඔහුට අණ කළ බවත් පළ කර සිටියේ ය.එසේ වුවද මහරජතුමා නැවේ කපිතන් තැනට හාර දෙන්නට දුන් රාජකීය හස්න කපිතන් තැනගේ අතට ම මුත් අප අතට භාර දෙන්නට නොහැකි බව හෙතෙම කීවේ ය.
      අප දිසාව මුණගැසුනු ස්ථානය වෙරළේ සිට සැතපුම් දොළසක් පමණ රට මැද්දෙහි පිහිටියේ ය.එහෙයින් නැව තනිකර දමා මෙපමණ දුරක් එන්නට කපිතන් හට පුළුවන් කමක් නැති හෙයින්, වෙරළාසන්නයට එන්නට දිසාව කාරුණික වුවහොත්, නැව් නායකයා ඉමහත් ප්‍රීතියෙන් වෙරළට එනු ඇතැයි අපි ඔහුට දැන්වීමු.අප මෙසේ කී විට, එදා රෑ තමා සමඟ රැඳී සිට පසු දා උදෑසන වෙරළාසන්නයට යා හැකි බව දසාව තෙමේ අපට සැල කෙළේ ය.
      කරන ලද ප්‍රථම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට මෙම නිලධාරියා අසතුටු කරවන්නට නොකැමැති වූ හෙයින්, අපි ඒ ආරාධනාව ඉවසුවෙමි.


      එදින සන්දෑවේ ම දිසාව, අප ලැගුම් ගත් නිවසට ප්‍රධාන කපිතන්වරුන් දෙදෙනෙකු අත පණිවුඩයක් එවී ය.එම පණිවුඩයෙන් කියවුණේ නැව් නායකයාට තමා පඬුරක් යවන බවත්, අපත් කැමතිනම් එම පඬුර ගෙන යන පණිවුඩකරු අත නැව් නායකයාට හසුනක් යැවිය හැකි බවත් ය.තවද එම පඬුර රාත්‍රී කාලයේ දී ම යවන බවත්, පසුදා උදෑසන තමා යන විට අපටත්, ඔහු සමග යන්නට පුලුවන් බවත් එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවුණේ ය.මෙයින් අප තුළ දිසාවගේ ක්‍රියා කළාපය පිළිබඳව බලවත් සැකයක් පහළ විය.එහෙයින්, කිසිම ලෙසකින් වෙරළට නොඑන ලෙසත්, අප නැවට පැමිණ ඔහු දකිනතුරු සෙසු කිසිවෙකු වෙරළට නො එවන ලෙසත් නෞකාධිපති වූ මපියාණන් හට ලියා යවන්නට අපි තීරණය කර ගතිමි.


      පසු දින උදෑසන ගවයින්ගෙන් හා පලතුරු ආදියෙන් සැදුම් පත් පඬුරක් නැව් නායකයාට පිළිගන්වනු පිණිස වෙරළට ගෙන එනු ලැබී ය.පඬුරු රැගත් පණිවුඩකරුවෝ නෞකාවට ගොස්, දිසාව අප ද කැටුව වෙරළට එන බවත්, මහරජ්ජුරුවන්ගේ හස්න තමා අතට ම පිළිගැන්විය යුතුව ඇති බැවින් නැව් නායකයා වෙරළට පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත් සැල කළෝ ය.


      දිසාවගේ පණිවුඩය සම්බන්ධයෙන් අල්පමාත්‍ර වූ හෝ සැකයක් නොකළ නෞකාධිපතියා සගයන් සත් දෙනෙකුන් සමග ස්වකීය ඔරුවේ නැගී වෙරළට අවුත් දිසාව හා අප එනතුරු සියඹලා ගසක් යට පොරොත්තු වී සිටියේ ය.මේ අතර ඔවුන් නොදැනුවත්වම, දේශීය යුධ භටයෝ, ඔවුන් වට කර ගත්හ.මෙම භටයෝ නැව් නායකයා හා ඔහුගේ සගයන් සත් දෙන ද අල්ලා ගත්හ.ඔවුන් හට කිසිඳු තාඩන පීඩනයක් නො කරන ලදී.කොල්ලකෑමක් ද සිදු නොවී ය.එහෙත් මොවුහු පැද්දෙන පල්ලැක්කියක තබා ගත් නැව් නායකයා හා පිරිස අප සිටි තැනට ගෙන ආවෝ ය.

      ඊට පසු දින, මෙම සිදුවීම නොදත් නැවේ සෙසු නැවියෝ, කුඹයට ගසක් කපා ගැනීම පිණිස වෙරළට ගොඩ බැස්සෝ ය.ඔව්හු සියළු දෙන ම පෙර පරිද්දෙන් සිර භාරයට ගන්නා ලදහ.දළදඬු මිනිසුන් වූ ඔවුන් එක්වරම යටත් නොවූ බැවින් ඔව්හු දේශීය භටයන්ගේ තාඩන පීඩනවලට ලක් වුහ.කැලේ වැල්වලින් රැහැන් ගසා බඳින ලද අත් ඇති සිරකරුවන් තව ද තද කොට බැඳ තබනු පිණිස මිනිස්සු කඹ ගෙනාවෝ ය.එහෙත් මේ කඹ ගෙන ඒමෙන් නැවියන් හට ඇති වූ අමුතු භයක් නොවී ය.අත් රැහැනින් බැඳීමෙන් පසුව,කඹ ගෙන එන්නේ ඔවුන් එල්ලා මරන්නට යැයි ඔවුන් සිතන්නට ඇත.එහෙත් එල්ලා මැරීමක් සිදු නොවී වැල්වලින් බැඳ තිබුණු බන්ධන කඹවලින් වඩා දැඩි කරන ලද්දේ ය.රැහැන් ගසන ලද මෙම පිරිස රට මැද්දට දක්කා ගෙන එනු ලැබීමෙන් පසු, ඔවුන්ගේ දළදඬු බව අඩු වීම නිසා දෝ, බන්ධන මද වශයෙන් ලිහිල් කරන ලදී.

මෙම පිරිසට අප හා එක් වන්නට අවස්ථාවක් නොදී ඔවුන් අප සිටි නගරයේ ම වෙනින් නිවසක රඳවා තැබූ සිංහල නිලධාරීහු අප එක් එක් කෙනෙකු මුණ ගැසී කථාබස් කරන්නට අවසරයක් නොලැබෙන පරිද්දෙන් රැකවල් තැබු හ.අප දෙදෙනා හා නෞකාධිපතියා රඳවා තැබූ නිවසෙහි සුදු රෙදි වලින් උඩුවියන් බඳින ලද්දේ විය.එය මේ රටෙහි ආගන්තුකයන් හට දක්වනු ලබන විශිෂ්ඨ ගෞරවයක් හැටියට සළකන ලදී.එසේ වුවද අපට පසුව සිර භාරයට ගන්නා ලද අය රැඳවු නිවසෙහි උඩු වියන් නො වීය.සිංහල නිලධාරීන් අපට කළ හැකි තාක් හැම ආගන්තුක සත්කාරයක් ම නොවළහා කළ බව මෙහි ලා පල කළ යුතු ය.

      අප වෙරළට පැමිණි ඔරු දෙකත්, අප දහ අට දෙනාත් අත් අඩංගුවට ගත් සිංහල නිලධාරීන්ගේ මී ළඟ අරමුණ වුයේ නෞකාව ස්වකිය අත් අඩංගුවට ගැනීම යි.නැව අප පිරිස නැතිව යාත්‍රා කර යතැයි සැක සිතූ දිසාව, නැව සියතට ගැනීම සඳහා මෙබඳු උපක්‍රමයක් දැරී ය.

      නැව් නායකයා වෙත පැමිණි දිසාව,ඉතා කාරුණික ලෙස කථා කරමින්, අප රඳවා ගැනීමේ එකම අදහස අප අත එංගලන්තයේ මහරජුට හස්නක් හා පඬුරු පාක්කුඩම් යැවීම බවත්, එම හසුන් පත් හා පුද පඬුරු සූදානම් වනතුරු මෙසේ සැනසිල්ලේ ආගන්තුක සත්කාර විඳිය හැකි බවත්, විස්තර කර දුන්නේ ය.ඉක්බිති හෙතෙම මෙසේ ද කීවේ ය.

      "නැව් බොක්කේ නැංගුරම් ලා තැබීම ඉතාම අන්තරාය දායකයි! ඕලන්දක්කාරයන්ට දකින්නට ලැබුනොත් නැව ගිනිබත් කරනවා නියතයි.ඒ නිසා ගංගා මෝය ඔස්සේ නැව මෑතට ගෙන්වා තැබීම නුවණට හුරුයි.!"

      අපේ නෞකාව රටට කිට්ටු කරගෙන,එය ද සිය අත් අඩංගුවට ගැනීම පෙරටු කොට ගෙන කරන ලද මෙම යෝජනාවට නෞකාධිපතියා කිසිසේත් කැමැත්තක් නොදැක් විය.එහෙත් එම අකමැත්ත එළියේ නොදක්වන්නට පරිස්සම් වූ නැව් නායකයා දිසාවට කතා කරමින්, තමාගේ නියෝගයක් නොමැතිව නැවේ සිටින නැවියන් නෞකාව ගං මෝය ඔස්සේ ගෙන නොඑන බවත්, තමාගේ අත්සන සහිත නියෝගයක් මෙහි සිටින පිරිසෙන් දෙදෙනෙකු අතෙහි නැවට නොයවා කිසි ලෙසකිනුත් නැව ගං මෝය ඔස්සේ ගෙන්වා ගත නොහැකි බවත්, නැව වෙරළාසන්නය එනු වෙනුවට යාත්‍රා කර සිය රට බලා යන්නට පුලුවන් බවත් පළ කළේ ය.

      මෙහි දී දිසාව, දෙකින් එකක් තෝරා ගත යුතු විය.අප පිරිසෙන් දෙදෙනෙකු අත නැව් නායකයාගේ හස්නක් නැවට යවා, ඒ මගින් නැව සියතට ගැනීම නුවණට හුරු ද? නැතහොත් නැවට සියරට බලා යන්නට සැලැස්සිය යුතු ද? මෙම දෙකින් දිසාව තෝරා ගත්තේ පළමුවැන්න යි.නෞකාධිපතියා නැව ගං මෝය ඔස්සේ වෙරළට ගෙන එන ලෙස නියෝගයක් යවතියි වරදවා විශ්වාස කළ දිසාව, අප පිරිසෙන් දෙදෙනෙකුට හස්නත් සමග නැවට යන්නට අවසර දුන්නේ ය.එහෙත් එම හස්නෙන් කියැවුණේ වෙනෙකක් බව හෙතෙම මොහොතකටවත් නොසිතුවේ ය.

      ඉන්දියානුවන් කීප දෙනෙකු විසින් පදවන ලද ඔරුවක නංවා අපේ පිරිසෙන් දෙදෙනෙක් නැවට යවන ලදහ.මෙම දෙදෙන අත මපියාණන් නෞකාවේ සිටි නැවියන් හට යැවූ පණිවුඩය කවරේ ද? ඉන්දියානු මිනිසුන් කීප දෙනා හට අකාරුණික ලෙස නොසලකා ඔවුන්ට හැකිතාක් ආදර සංග්‍රහ කොට ඔවුන් නැවෙහි ම රඳවා ගත යුතු බව ය.කිසිවෙකුත් වෙරළට පෙරළා නොපැමිණිය යුතු බව ය.

      කියූ අයුරට ම කාරිය කෙරිණ.ඔරුවේ ගිය පිරිසෙන් එකෙකුත් ආපසු නාවේ ය.නෞකාව ගං මෝය ඔස්සේ මේ පැත්තට එන සේයාවකුදු දකින්නට නැත්තේ ය.මෙයින් දිසාව කෝපාවේශ විය.කෝපාවේශ වී මෙයට හේතුව දක්වන ලෙස ද නෞකාධිපතියාට නියම කළේ ය.මෙහි එකම හේතුව "තමා නැව් නායකයා බව ඇත්ත වුව ද, දැන් ඇත්ත වශයෙන් ම තමා සිරකරුවකු බැවින් සිරකරුවකුගේ අණ පිළිපැදීමට නෞකාවේ නාවිකයන් අකමැති වීම යැ" යි මපියා පිළිතුරු දුන්නේ ය.

      දින කීපයක් ගත විය.නෞකාව ගං මෝය ඔස්සේ ගෙන එන ලෙස නැවියන් හට අණ දෙනු පිණිස, මා නැවට පිටත් කර හරින ලෙස දිසාව මපියාට නියම කළේ ය.එහෙත් යම් කිසි ලෙසකින් පළමු දෙන්නා මෙන් පෙරළා නොපැමිණිය හොත් ඒ සම්බන්ධයෙන් තමා වග බලා ගත යුතු බව දිසාව තෙමේ මපියාට අවධාරණයෙන් ම දන්වා සිටියේ ය.එසේ යැයි ගිවිසි මපියා මා නෞකාවට පිටත් කර හැරියේ ය.එහෙත් මා පිටත් කර හැරියේ, නෞකාව  ගං මෝය ඔස්සේ මෙරට මැද්දට ගෙන එන්නට නොව, ඊට ප්‍රතිවිරුද්ධ වූ කාර්යයක් කර ලීම පිණිස ය.නෞකාවේ උඩ යදම් නැංගුරම් කඹ මත දමා, තුවක්කු හඬ දෙවා, නෞකාවේ සිටින පිරිසගේ ජීවිතාරක්ෂාව සඳහා සුදානම් වී සිටින ලෙසත්, අවි ආයුධ ඇතිව මිස ජිවිතයට ආසා ඇති කිසිවෙකු වෙරළට නොපැමිණිය යුතු බවත් නෞකාවට ප්‍රධාන සහකාර නිලධාරියා වූ ජෝන් බර්පෝඩ් මහතාට දන්වන ලෙස මපියා මට රහසින් අණ දුන්නේ ය.ඉක්බිති, මා පෙරළා පැමිණිය යුතු බවත් යම් ලෙසකින් පියකු සිරකරුවකු ලෙස ව්‍යසනයේ හෙළා මා ජීවිතය ගලවා ගෙන සියරට ගියහොත් අන්තිම විනිශ්චය දිනයේ දී දේවාධිකරණය ඉදිරියේදී මා වරදකරු විය හැකි බවත් මපියා මට දන්වා සිටියේ ය.ආපසු පැමිණෙන බවට මපියාණන් ඉදිරියේ දිව්රුම් දුන් මම නෞකාවට ගොස් ජෝන් බර්පෝඩ් මහතාට සිදුවූ සියල්ල තත් වූ පරිද්දෙන් විස්තර කර මපියා දුන් නියෝගයද දන්වා ලීමි.ඉක්බිති මගෙත් මපියාගෙත් නිදහස සඳහා, අභය දානය සඳහා, පෙරදිග ඉන්දියා වෙළඳ එකතුවේ ලියුම් කරදාසියක ලියුමක් ලියා, එයට නැවේ සිටි නැවියන්ගේ අත්සන් ගතිමි.එම ලියුමෙන් කියන ලද්දේ, තවදුරටත් නෞකාධිපතියාගේ අණක් පිළිගැනීමට නැවියන් සුදානම් නැති බව හා, නැවේ හා නැවියන්ගේ ආරක්ෂාව තමන්ට ම සලසා ගන්නට පුළුවන් බව ය.

      මෙම හස්න ද ගෙන, ප්‍රතිඥා දුන් පරිදි මම පෙරළා පැමිණියෙමි.හස්න දිසාව අතට පිළිගන්වන ලදින්, නැව ගෙන එන්නට අණ කරන්නැයි එයින් පසු දිසාව මපියාට කරදර නො කෙළේ ය.ඇවිටිලි නො කෙළේ ය.එහෙත් අපට කැමති දෙයක් නෞකාවෙන් අපට ගෙන්වා ගන්නට පුළුවන් බවත්, අප නිදහස් කර හැරීමට මහ රජතුමා තවම නියම කර නැතත් එම නියෝගය කවර මොහොතේ වුව ද ලැබිය හැකි බවත්, කියමින් දිසාව අප රවටා ලීමට තවදුරටත් සමත් වූයේ ය.මෙපරිද්දෙන් අපි දෙමසක් ගත කෙළෙමු.මේ කාලය තුළ අගනා අහාරපනාදියෙන් හා විශිෂ්ඨතම අථිති සත්කාරයෙන් අපට සංග්‍රහ කරන ලදී.

      මෙම අවිනිශ්චිත තත්ත්වයේ කොතෙකුත් පසු විය නොහැකි විය.ස්වකිය වැඩ සටහන අනුව නෞකාව යාත්‍රා කළ යුතු අවස්ථාව පැමිණියේ ය.එහෙයින් පසුව නිසැකව දැන ගන්නට ලැබුණු පරිද්දෙන් අපගේ නිදහස්වීම පිලිබඳ අදහස ඉතා සැක සහිත වූ බැවින්, නෞකාවේ සම්පූර්ණ වගකීම භාරගෙන පෝටෝ නොචෝ බලා යාත්‍රා කොට එහි සිටින බ්‍රිතානි තානාපතිවරයාගේ උපදෙස් අනුව ඉන් ඉදිරියට ක්‍රියා කරන ලෙස, මපියා, ජෝන් බර්පොඩ් මහතාට දන්වා යැවී ය.
      අපි ඒ වනචාරී මිලේච්ඡයන්ගේ1 අනුකම්පාවට භාජන වී මෙහි ම රැඳුනෙමු.මෙම ඉරණමට යටත් වූ අප දහසය දෙනාගේ නම් මෙසේ ය.නෞකාධිපති රොබට් නොක්ස්, ජෝන් ලව්ලන්ඩ්, ජෝන් ග්‍රැගරි, චාර්ල්ස් බියර්ඩ්, රෝගර් ගෝල්ඩ්, ස්ටීවන් රට්ලන්ඩ්, නිකලස් ටුලින්ස්, ප්‍රැන්සිස් ක්‍රච්, ජෝන් බෙරි, රැල්ෆ් නයිට්, පීටර් වින්, විලියම් හබැඩ්, ආතර් ඇමැරි, රිචර්ඩ් චාන්හැම්, ජෝර්ජ් සවිත්, හා මම ද වෙමු.දෙවියන් වහන්සේ ගැන හෝ වේවයි උන් වහන්සේගේ ධර්මය ගැන හෝ වේවයි ලෙෂ මාත්‍රයක් වත් අසා නැති මිථ්‍යාදෘෂ්ඨික පිරිසක් මැද සිරකරුවන් බවට පත් වූ සැටි දැකීමෙන් අපගේ හදවත් බෙහෙවින්ම බර වූ නමුදු, ඒ දෙවියන් වහන්සේගේ ම අනුග්‍රහය නිසා දෝ, වනචාරී ම්ලේච්ඡ මිථ්‍යාදෘෂ්ඨිකයන් හැටියට අපට පෙනී ගිය මෙම ජනතාවගෙන්, අප බලාපොරොත්තු වූ අංශකය ඉක්ම වූ ඉතා ආදර්ශවත් සත්කාරයන් අපට ලැබීම හේතුකොටගෙන අපගේ හදවත්හි වූ බර, බහෙවින් ම සැහැල්ලු වුයේ ය.
{ 1. Barbarins තමන්හට විශිෂ්ඨ තම ආගන්තුක සත්කාරය දක්වන ලද බවත් උඩට උඩු වියන් ඇද අග්‍රතම අහාරපනාදියෙන් සංග්‍රහ කරන ලද බවත් කියමින් රොබට් නොක්ස් එම මුවින්ම සිංහලයින් හට වනචාරීන් යයි ම්ලේච්ඡයින් යැයි - බැණවදින්නේ සිර භාරයට පත් වූ හිතේ අමාරුවට විය යුතු ය.(අනුවාදක) }

      නෞකාව පිටත්ව ගිය ඉක්බිති, දිසාවට වහාම ගොස් තමා බැහැ දක්නා ලෙස මහරජුගෙන් පණිවුඩයක් ලැබුණේ ය.මෙම නියෝගයෙන් පසු දිසාව ඔහුගේ සේනා පයිංඩයන් කැටිව, අප රැඳී සිටි තැනම අප රඳවා කන්ද උඩරට බලා පිටත් ව ගියේ ය.එහෙත් අප සම්බන්ධයෙන් කිසිම නියෝගයක් නොකරන ලදී.

      දිසාව, සිය පිරිසත් සමග ගිය පසු, රැක බලා ගැනීමේ භාරහාරය නගරයේ මනුෂ්‍යයෝ භාර ගත්හ.නැවත නියෝග ලැබෙනතුරු අප රැක බලා ගැනීම භාර ගත් පුරවැසියෝ, අපගේ සෙසු නාවික පිරිස හා අප එක තැන් නොකරන්නට විශේෂයෙන් වගබලා ගත්හ.යම් හෙයකින් අප දෙපිරිසට එක් රැස් වී කථිකා කර ගන්නට අවස්ථාව ලැබිණි නම්, කිසියම් උපක්‍රමයක් යොදා අප හැම දෙනම පලා යාමේ ප්‍රයත්නයක් දරණු ඇතැයි ඔව්හු කල්පනා කළෝ ය.එහෙයින් ඔව්හු, අප රැඳී සිටි නගරයෙන් ඉවත් කොට වෙන ස්ථානයකට ගෙන ගියෝ ය.

      අප මෙපරිද්දෙන් වෙන ස්ථානයකට ගෙන යනු ලැබීමෙන් දින දහයකට පසු, අප රට මැද්දට කැඳවාගෙන එන ලෙස දන්වා මහරජ්ජුරුවෝ කපිතන් කෙනෙකු සහිත සෙබළ මුළක් එවුහ.මේ සෙබළ පිරිස, අපත්, වෙන තැනක  රඳවා තිබුණු නාවික පිරිසත්, මහරජු ඉදිරියට ගෙන ගියෝ ය.මෙය තීරණාත්මක විනිශ්චයක් ලැබෙන අවස්ථාවක් විය.අප සියලු දෙන සිරකරුවන් හැටියට කඳු මැද්දට ගෙන යන ලෙස රාජ නියෝගය ලැබිණ.එදා රෑ,අපි කවුරුත් එකට රාත්‍රී භෝජනය ගතිමු.පසු දින උදෑසන අප නියම සිරකරුවන් බවට පත් වීමු.එසේ වුව ද, මහරජ්ජුරුවෝ අපට අදහන්නට පවා අසීරු වූ සුව පහසුකම් අප වෙනුවෙන් සලස්සා ලන බවට ප්‍රතිඥා දුන්හ.අප සදාකාලික සිරකරුවන් වශයෙන් මෙරටෙහි රඳවා තබා ගැනීම තමාගේ අදහස නොවන බවත්, තවත් නෞකාවක් පැමිණි වහා ම අප නිදහස් කර අපේ රටට යවන බවත් රජ්ජුරුවෝ අපට දැන්වූහ.අප විසින් ඔසවා ගෙන යා යුතු වූ අප සන්තක බඩු භාණ්ඩ ඉතා අල්ප විය.එහෙත් නෞකාධිපති තැනගේ හා නිලධාරීන්ගේ බඩු භාණ්ඩ ඔසවා ගෙන යන්නට සේවකයන් යෙදවිය යුතුයයි මහරජ්ජුරුවෝ අණ කළහ.

      එහෙත්, අපගෙන් කොල්ල කා ගත හැකි සෙසු කිසිඳු වස්තුවක් අප ළඟ නොවූ බැවින් අපේ රෙදි කඩමාලු ටිකවත් මොවුන් කොල්ලකා ගනිතියි අපි මුල දී සිතුවෙමු.එහෙත් අපගෙන් නූල් පොටක් පමණවත් අගනා යම් කිසිවක් හොරා නොගත යුතු බැව් මහරජතුමා නියෝග කර ඇති බව සිංහල සෙන්පතියා අපට කිවේ ය.හේ එසේ ම ය.ඔව්හු කිසිවක් කොල්ලකා නොගත්තෝ ය.කොල්ලකනු වෙනුවට ඔව්හු අපට ඉතා කාරුණික වූ හ.අප යන ගමනේ, වෙහෙස මහන්සි වී වේගයෙන් ගමන් නොකළ යුතු බව ද,කැමති තරම් සුව පහසු ගෙන හෙමින් හෙමින් ගමන් කිරීම ප්‍රමාණවත් යැයි ද සිංහල නිලධාරියා අපට සැලකර සිටියේ ය.මෙම කරුණාව අපගේ ඉමහත් සැනසීම පිණිස විය.මහ වන මැදින් තැනිතලා ඔස්සේ ගිය මෙම ගමන උද්‍යානයක යන විනෝදදායක ගමනක් තරම් ප්‍රීති සහගතව යන්නට අපට පුළුවන් විය.එහෙත් මහා මාර්ගය ජනාවාසයෙන් තොර වී තිබීමෙන් අපට දැනුණු පාළුව අති මහති.මෙම වනගත ගමනේ දී රාත්‍රී සතරක් පහක් ම අපට තුරු සෙවනැළි යට නිදා ගන්නට සිදු විය.ආහාර පානයෙන් කිසිම අඩුවක් නොවී ය.අපට කුස පුරා කන්නට පුළුවන් තරම් ආහාර දෙන ලදී.මෙම ආහාරය බතාන්, ලුණු දැමූ මාළුවලින් හා වියලන ලද මාංසයකින් සමන්විත විය.ඇතැම් විට අප සමග ගිය සිංහල යුද්ධ භටයෝ මුවන් විද, මීවද කඩා, එයින් වැඩි කොටස අපට කන්නටත් බොන්නටත් දුන්හ.අපට පිපාසයෙන් කිසි විටෙක පෙළෙන්නට අවස්ථාවක් නොවී ය.ගලා යන ගංගා හා ඇළ දොළත්, සිසිල් ජල කඳින් පිරිපුණු වැව් පොකුණුත් හැම තැන ම විය.

      වනගත මාර්ගය ගෙවා නගරයට පැමිණි විට, සිංහල සිරිත අනුව පිළියෙල කරන ලද භෝජන අපට බුදින්නට ලැබිණ.හාල් ජලයේ දමා තම්බා පිළියෙල කර ගන්නා ලද බතින් ද, එළවළුවලින් හා පලා වර්ග දෙකකින් ද, සමන්විත වූ මෙම ආහාරය අවසානයේ දී අනුභව කිරීම පිණිස රසවත් පලතුරු වර්ග අපට පිළිගන්වන ලදී.මේ පලතුරු අපි ඉතා ප්‍රීතියෙන් භුක්ති වින්දෙමු.සැබැවින් ම අපට ලැබුණු ආදර සත්කාර විසිතුරු ය.නිදහස් නිවාස වලට පිය නැගු සොල්දාදුවන් මෙන් අපි ප්‍රීති වුණෙමු.විනෝද වුණෙමු.රට වැසියන් විසින් සපයන ලද මෙම ප්‍රීතියට හා විනෝදයට කෘත ගුණ සැලකීම වශයෙන් අපිදු ඔවුන් හට ප්‍රීතිය හා විනෝදය සැපයුවෙමු.අප ආහාර අනුභව කරන සැටි දැකීමත්, අප පැදුරු මත දිගා වී ඔවුන් හට නොතේරෙන බසකින් කථා බස් කරනු දැකීමත් ඔවුන්ගේ විනෝදය පිණිස විය.ස්වකිය ජිවිතයේ කිසි දිනෙක ඉංග්‍රීසි ජාතිකයකු නොදුටු මේ රට වැසියෝ, අප කන බොන සැටි, අප යන එන සැටි, අප කථාබහ කරන සැටි දැකීමට පෙරහැර සැදී සිටියෝ ය. අප හැඳිවලින් අහාර අනුභව කරනු දැකීම සැබවින්ම ඔවුන්ගේ විනෝදය පිණිස විය.ඔවුන් බත් කන්නා සේ බත් මිටක් අතින් ගෙන ඇඟෙහි විසුරුවා නොගෙන කටට දමා ගන්නට අපට නුපුළුවන් වීම, ඔවුන්ගේ හිනා පිණිස විය.එසේ ම ඔවුන් කරන්නා සේ කොතලය කටෙහි නොතබා දිය පානය කිරීමත්, ඇඟෙහි ජලය නො ඉහරවාගෙන අපට කල නොහැකි විය.මේ සියල්ලෙන් ම විස්මිත වූ බැවින් දෝ, අප පැමිණි හැම නගරයකම වැසියෝ අප දෙස මහත් වූ කුතුහලයෙන් දෙනෙත් නෙරවා බලා සිටියෝ ය.

      මෙසේ, කන්ද උඩරට සෙංකඩගල නුවරට හෙවත් මහ නුවරට ආසන්න වූ කල්හි අප පිරිස එක් එක් කෙනෙකු වශයෙන් වෙන් කොට එක් එක් නගරයකට ගෙන යන ලෙස මහරජුගෙන් නියෝග ලැබුණේ ය.මෙය අපට මෙතරම් සතුටු දායක පුවතක් නොවූ නමුදු, අප එයට අවනත විය යුතු විය.එක් එක් කෙනෙකු එක් එක් නගරයක රඳවා ගන්නා ලෙස රජතුමා නියෝග කළේ, අපට ආගන්තුක සත්කාර සැලැස්වීමේ පහසුව සලකාගෙන බව පසුව හෙළි විය.

      නෞකාධිපති තැන, ජෝන් ලව්ලන්ඩ්, මා සහ ජෝන් ග්‍රැගරි යන සතර දෙන මහනුවරට ආසන්නයේ වෙනම ස්ථානයක රඳවනු ලැබුවේ, අප දකින්නට මහරජතුමාට කවර මොහොතේ වුව ද, සිතෙන්නට බැරි නිසා ය.ඉහත ප්‍රකාෂිත නියමය පරිදි සෙසු සියලු දෙන, එක් එක් නගරයෙහි එක් එක් කෙනෙකු බැගින් රඳවා දමන ලදහ.අප සෑම දෙනෙකුට ම ඉතා කාරුණික ලෙස සැළකිය යුතු ය යනු මහ රජ්ජුරුවන්ගේ විශේෂ නියෝගය විය.එපරිද්දෙන් ම අපට ලැබුණු ආගන්තුක සත්කාරයෙහි කිසිඳු මදි පාඩුවක් නොවී ය.මාස දෙකක් පමණ කාලයක් අපි සතර දෙන, ඉමහත් ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් මෙසේ එක් තැන ම වාසය කළෙමි.

40 comments:

  1. හොඳ වටින උත්සහයක් ඉදිරියටම යන්න තෙරුවන් සරණයි

    ReplyDelete
  2. මම බොහෝ කාලයක ඉදලා කියවන්නට ආසාවෙන් උන්න පොතක්.
    හරිම වටිනවා. ඔබට හැකි ආකාරයෙන් මේ පොත සම්පූර්ණ කරන්න.
    තෙරුවන් සරණයි

    ReplyDelete
  3. ඇත්ත, හරිම වටින වැඩක්....සුභ පතුම්

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඉතාම වටිනා කර්තව්‍යයක්. බොහෝ කලක් ඉඳල සොය සොයා හිටපු පොතක් මෙලෙස දැකීමට ලැබීම භාග්‍යයක්. ඔබගේ මේ කාර්ය්‍යයට උණුසුම් සුභ පැතුම් පිරිණමන ගමන් මේ පරිවර්තන කටයුත්ත නොකඩවා කරන ලෙස ඉල්ලා හිටිනව.
    ස්තූතියි.

    ReplyDelete
  6. ඉතාම වටිනා කර්තව්‍යයක්. බොහෝ කලක් ඉඳල සොය සොයා හිටපු පොතක් මෙලෙස දැකීමට ලැබීම භාග්‍යයක්. බොහෝම ස්තූතියි

    ReplyDelete
  7. මේ කාර්යය සැබවින්ම අගය කළ යුත්තක්. කොහොම නමුත් කතෘ අයිතිය පිළිබඳව සොයා බලන්න. නැත්නම් කිසියම් ආකාරයක නීතීමය ගැටලුවක් ඔබට ඇතිවෙන්න පුලුවන්

    ReplyDelete
  8. HODA WADAK ...IDIRIYATAMA YANNA

    ReplyDelete
  9. Godak isthuthi obage uthsahayata. Eheth 4 weni parichchedaya sita ithiri paarachchedath me blog adaviye pala karanawanam bohoma pin.

    ReplyDelete
  10. Niyamai!! Bohoma honda wedak, Budu Saranaii!!!

    ReplyDelete
  11. කියවන්න ආසා‍වෙන් හොය හොයා හිටපු පොතක් මේ විදියට හරි කියවන්න සලස්වාදුන් ඔබට බොහෝම ස්තූතියි

    ReplyDelete
  12. ඔබට ගොඩක් පිං..!

    ReplyDelete
  13. ඔබට ගොඩක් පිං..!

    ReplyDelete
  14. හොද වැඩක්

    ReplyDelete
  15. ඔබට පින් සිදු වේවා..! දිනෙන් දින දියුණුවට පත්වේවා..! අගය කල යුතු උතුම් කර්තවයක් මේ කාර්ය. ඔබතුමන්ලාට මාගේ ප්රණාමය

    ReplyDelete
  16. වටීන ලිපියක්

    ReplyDelete
  17. වටීන ලිපියක්

    ReplyDelete
  18. ඉතාම වටිනා මෙහෙවරක්.හදවතින් ම සුභ පතනවා...

    ReplyDelete
  19. බොහොම ස්තුතියි!

    ReplyDelete
  20. කලක් සිට මා සෙවූ කෘතියක් මෙය ස්තූතීයී ඔබට.තවත් මෙවැනි වටිනා කෘතීන් එලි දැක්වීමට ඔබට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  21. ගොඩක් කාලෙක ඉදල හොයපු පොතක්.හරිම වැදගත් කෘතියක් .ඔබට බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete
  22. ගොඩක් කාලෙක ඉදල හොයපු පොතක්.හරිම වැදගත් කෘතියක් .ඔබට බෙහෙවින්ම ස්තූතියි.

    ReplyDelete
  23. Good and best web akkak supiriiiiiiiiiiii👍👍👌

    ReplyDelete
  24. ඉතුරු ටිකත් ඔනෙමයි

    ReplyDelete
  25. Mata ona karapu book ekak, mm 2022 a/l karna kenek, mm historry subject eka thora gena inne, mta me book eka uwamna karnw, hodiiii

    ReplyDelete
  26. Mata ona karapu book ekak, mm 2022 a/l karna kenek, mm historry subject eka thora gena inne, mta me book eka uwamna karnw, hodiiii

    ReplyDelete
  27. රොබට් නොක්ස් ලැගුම්දෙනිය ප්‍රදේශය අතහැර ගියාද නැතිනම් පැනලා ගියාද

    ReplyDelete
  28. ගොඩක් වටිනා පොතක්

    ReplyDelete
  29. ගොඩක් වටිනා පොතක්

    ReplyDelete

ඩේවිඩ් කරුණාරත්නයන් විසින් පරිවර්තනය කොට රචිත " එදා හෙළ දිව " පොතෙන් උපුටා ගන්නා ලදී..