Sinhalese translation of AN HISTORICAL RELATION OF THE ISLAND OF CEYLON by Robert Knox published by Richard Chiswell at London, 1681
අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න
Small Medium Large Larger Largest

3. පරිච්ඡේදය

මට කල දවස ගෙවුණු සැටි - මගේ තනියට සිටියේ අකීකරු කළු කොල්ලාත් අවාසනාවන්ත ගැහෙන උණ රෝගයත් පමණිකි - ඇඳුම් ඉරී වැහැරී ගිය බැවින් රෙදි කඩකින් විලි වසා ගෙන කල දවස ගත කළ සැටි - පරංගින්ගෙන් ලැබුණු බෛබලයක් මහල්ලා මට විකුණූ සැටි මගේ එකම හිතවතා බෛබලය විය!


කල දවස ගෙවුණු සැටි !
      පියාගේ මරණයෙන් පසු මගේ තනි නොතනියට සිටියේ මීට පෙරද වරක් සඳහන් කල කළු කොල්ලා පමණකි.තුන් දවසකට වරක් මට තනි රැකීම සඳහා උණ රෝගය ද පැමිණියා ය.රෝගයෙන් නොපෙළුණු හැම දවසක ම මගේ දින චරියාවේ විශිෂ්ට ස්ථානයක් ගත්තේ පතපොත කියවීම, භාවනා කිරීම හා දෙවියන් යැදීම යි.කියවීමෙහි භාවනාවෙහි හා යාචිඤාවෙහි දැනට වැඩි ප්‍රීතියක් මට එකල තිබුණේ ය.කවර හෙයින් දයත් ?මට කළ හැකි, මට සැනසීම ලබා දිය හැකි, සෙසු කිසිවක් නොවූ බැවිනි.එසේ වුව ද මට කියවන්නට තිබුණේ මා මීට පෙර සඳහන් කළ පොත් දෙක පමණකි.මේ පොත් දෙක කොතරම් කියවූයෙම් ද යත් ?පොත් දෙක ම මට කට පාඩම් සිටියේ ය.දිවා භෝජනයෙන් පසු පොතක් අතට ගෙන වෙල් එලියට ගොස් එහි ගසක් මුල වාඩි වී සැන්දෑව වනතුරු එය කියවීමත්, කියවීම ඉක්බිති භාවනා කිරීමත් මගේ සිරිත විය.මේ සිරිත කඩ වූයේ උණ රෝගයෙන් ඔත්පල වූ දින වල පමණකි.ඒ දිනවල දී පොත් කියවනු - භාවනා කරනු තබා මගේ හිස ඔසවා ගෙන සිටින්නටවත්  ශක්තියක් හෝ සිහියක් නො වී ය.ජීවිතය මට බරක් වූ බැවින් දෙවියන් වහන්සේ දැන් දැන් මගේ මෙලොව ජීවිතය අවසන් කෙරෙත්වා යි කජු ගසක්1 යට සිට දෙවියන් යැදී එළිජා2 ලෙසින්, මමත් ජිවිතය තිත්ත වී යාතිකා කළෙමි.
{ 1. Juniper tree
   2. Elijah බෛබලයේ එන චරිතයකි. }

      මඳ කලෙකින්, දෙවියන් වහන්සේගේ අභිලාෂය වූ පරිද්දෙන්, දහසය මසකට පසු, මගේ උණ රෝගය අනුක්‍රමයෙන් සුව වී ගියේ ය.

      මා ලංකාද්වීපයේ ගතකළ සිරකරු ජීවිතය පිලිබඳ වාර්තාවක් මගේ මේ අතින් ග්‍රන්ථාරූඪ කර තැබීම මැනැවැයි සිතෙන බැවින්, මගේ කල දවස ගෙවුණු සැටි මෙතැන් පටන් විස්තර කරන්නෙම්. 
      මා සිංහලයන්ගේ සිරිත් විරිත්වලට හා ඇඳුම් පැළඳුම්වලට පුරුදු වූයේ කෙසේ දැයි පළමු කොට කියන්නෙමි.මා සිරභාරයට පත් වෙද් දී ඇඳ තිබුණු ඇඳුම් අනුක්‍රමයෙන් ඉරී වැහැරී ගියේ ය.(අලුත් ඇඳුම් මිල දී ගැනීමට මා අතෙහි වූ දෙයිතුවක් නැත) එහෙයින් මගේ විලි වසා ගැනීම මට ම ප්‍රෙහෙළිකාවක් වන තැනට කටයුතු යෙදින.මගේ හැම ඇඳුමකට ම වඩා කල් පැවතුනේ හිස්වැස්ම ය.උඩු කය වැසූ ඇඳුම් ද කලිසම් පමණ වැහැරී ගොස් නොතිබුණේ ය.මගේ කමිසයේ අත් ඉතා පළල් ඒවා වූ බැවින් කමිස අත් දෙක කඩා, එයින් කලිසමක් මසා ගන්නට පුරුදු වූයෙමි.පාවහන් හා මේස් සියල්ල ම ගෙවී නිම වී බොහෝ කල් ය.කමිස අත් දෙකින් සැදූ කලිසම යටි කයටත්, අත් නැති කමිසය උඩු කයටත් හැඳ, අබලන් නොවී තිබුණු හිස් වැස්ම හිසෙහි පැළඳ, දෙපයේ මේස් හෝ සපත්තු හෝ නැතිව පළමු කොට ළඟපාත ඇවිදින්නටත්, පසුව, ගමන් බිමන් යන්නටත් මම පුරුදු වූයෙමි.

      කාලාන්තරයකින් - ඔව්, මෙරටට පැමිණීමෙන් පසුව - මගේ හිසකෙස් නොකපන ලද බැවින් කෙස් වැවී හිණ දක්වා දික්ව වැවී තිබුණේ ය.දික්ව වැවුණු කේශ කලාපය හේතු කොට ගෙන මගේ පිට සම්පුර්ණයෙන් ම වැසි ගිය බැවින් උඩු කමිසයක් එතරම් අවශ්‍ය බවක් මට නොපෙනුණේ ය.එහෙයින් කමිසය කපා තවත් කලිසම් කොටයක් මසා ගෙන, උඩු කය සම්පුර්ණයෙන් ම නග්නව තබන්නට ඊළඟට උගත්තෙමි.කලිසම් කිළිටි වූ විට මා කෙළේ කුමක් ද? ජනයා නොගැවසුණු දියත්තක් ළඟට ගොස් ජලයට බැස කලිසම ගලවා එය සෝදා ගං ඉවුරේ එළා එය අව්වෙන් වියළි යන තුරු ස්නානය කිරීම ය.ස්නානය අවසාන වන්නා හා ම, ඇඳුම ද වියළි කෙළවර වූයෙන්, එය ඇඳ ගෙන මැදිරිය බලා ඒම මගේ සිරිත විය.කලක් මෙසේ යන එන විට, හිණෙහි හැඳි කලිසමත් දිරාපත් වන්නට පටන් ගත.අලුතින් අමුතුවෙන් ඇඳුමක් මසා ගන්නට මුදලකුත් අත මිට නැත.රජතුමන් විසින් සපයනු ලැබුවේ ආහාර පානාදිය පමණකි.විළි වසා ගත යුතු ය.ඒ සඳහා රෙදිපිළි ගත යුතුය.මම කල්පනා කළෙමි.දිගින් දිගටම කල්පනා කළෙමි.කල්පනා කොට මෙබඳු උපක්‍රමයකින් මුදල් සොයා ගන්නට සිතා ගතිමි.

      උදෑසනින් හෝ සැන්දෑවෙහි වෙල් යායට ගොස් කාහටත් නොදැනෙන සේ වී කරල් කඩා ඒවායින් කලිසම් සාක්කු දෙක පුරවා ගෙන මගේ මැදිරියට අවුත්, ඒවා එහි දමා නැවත නැවතත් කලිසම් සාක්කු පුරවා වී ගෙනවුත්, වී ගොඩක් රැස් කොට එය විකුණා රෙදි කඩක් ගන්නට මුදල් උපයා ගැනීම ය, මසිතෙහි පහළ වූ උපක්‍රමය.එහෙත් මෙය කරන්නට ගොස් ගොවියන් හට මා අසු වුවහොත් සොරකම් කිරීමේ චෝදනාවට වැරදි කරුවකු වී රාජ දණ්ඩනයට යටත් විය හැකි බව ඒත්තු යාමෙන් එම අදහස අත් හළෙමි.ඉක්බිති, එයට වැඩි සාධාරණ වූ සිතක් මසිතෙහි පහළ විය.එනම් හිස් වැසුම් ගොතා, එමඟින් මුදල් උපයා ගැනීම ය.

      මම හිස් වැසුම් ගොතන්නට පටන් ගතිමි.මා සතු හිස් වැස්ම1 සිංහලයන්ගේ චිත්තාරාධනය කිරීමෙහි සමත් විය.මේවා විකුණා උපයා ගත් මුදලින් මම රෙද්දක් මිළ දී ගෙන මේ රටේ වැසියන් අඳින්නාක් මෙන් එය අඳින්නට පුරුදු වූයෙමි.රෙද්දට බැසීම, මට මහත් වූ සහනයක් සේ පෙනිණි.හේ එසේම ය.මේ රටෙහි යන්තම් දුරක් යන්නට වුව ද ගං හෝ පසුකර යා යුතුයි.ගඟ දියෙහි බැස මේ ගංගා තරණය කිරීමේ දී ඇඳ සිටින වස්ත්‍රය කර වටක් ඔසොවා බොහෝ විට නග්නව ම ගමන් කළ යුතු වෙයි.එබඳු අවස්ථාවල දී කලිසම් ඇඳීමෙන් අත් වන්නේ අති මහත් කරදරයකි.එහෙයින් කලිසමේ සිට රෙද්දට බැස ගැනීමට සිදු වීම වෙස් වලා පැමිණි ආශීර්වාදයකැ යි සිතා ගතිමි!
{ 1. "රොබට් නොක්ස් හා ඔහුගේ සගයන් ගෙතුවේ යයි වාර්තා වී ඇති හිස් වැසුම් (කැප් තොප්පි) කෙබඳු ඒවා වී දැයි මම නොදනිමි.මේ කාලයේ හිස් වැසුම් දක්නට නැත." (ආනන්ද කේ කුමාරස්වාමි - Medieval Sinhalese Art) }

      පාවහන් නොමැතිව ඇවිදීම ඉතා දුෂ්කර කාර්‍යයකැයි ඔබට ඇතැම්විට සිතෙන්නට පුළුවන.එහෙත් එය එසේ නොවේ.පාවහන් නොමැතිව පිය නගන්නට පුරුදු වීමේ දී, මුල් අවදියේ ඇතැම් විට පාදයෙහි පීඩාවක් දැනෙන්නට පුළුවන.එහෙත් බර වැඩ කරන්නකුගේ අත්වල සම් අනුක්‍රමයෙන් රළු වන්නා සේ ම, පයින් ඇවිදින්නවුන්ගේ පාදයේ සම ද අනුක්‍රමයෙන් රළු බවට පත් වන්නේ ය.මෙසේ පාවහන් නොමැතිව ඇවිදින්නට පුරුදු වීමෙන් පසුව, සපත්තු විරහිතව සිටීම මට මහත් වූ පහසුවක් ලෙස දැනෙන්නට පෙනෙන්නට විය.පාවහන් නොමැතිව ඇවිදීමෙහි අනුසස් කීපයක්, මට දැනුණු  පරිද්දෙන් මෙසේ ය.සපත්තු ඇතිව දිග දුරක් ඇවිදීමෙන් පයැඟිලිවල කරගැට මතු වෙයි.කැපුම් ඉදිමුම් ඇති වෙයි.මඩ වගුරු සහිත තෙත් පොළොවේ ගමන් කිරීම, පාවහන් සහිතව ඉතා දුෂ්කර ය.සපත්තු නොමැතිව ඇවිදීමෙහි එක් අපහසුවක් පමණක් ඇත.එනම් යටි පතුලේ කටු ඇනීමයි.එසේ වුව ද ජනයා නිතර ගමන් කරන මාර්ගවල කටු නැත්තේ ය.ඇවිදීමෙන් ම රළු වූ යටි පතුල්වල සමෙහි කටුවක් ඇණුන ද, එයින් වැඩි පීඩාවක් රුදාවක් ඇති නොවෙයි.පහසුවෙන් ම කටුව ඉවතට ඇද දැමිය හැකි බැවිනි.

      මගේ අත්දැකීමෙන් මට දැනගන්නට ලැබුණු පරිද්දෙන්, ලෝකයේ (අති ශීත රටවල් හැරුණු විට) බොහෝ රටවල වැසියන් පාවහන් නොමැතිව නග්න වූ පාදයෙන් ඇවිදීම ප්‍රිය කරන්නේ ඔවුන්ගේ ස්වාභාවික අවශ්‍යතා අනුව ම විය යුතු ය.මා ලංකාවේ සිරකරු ජිවිතයෙන් මිදී, පලා ගොස්, ඕලන්දක්කාරයන් සමග වාසය කළ දින කීපය තුළ දී ඔවුන් මට පළඳින්නට කලිසම් කබා හා සපත්තු මේස් ප්‍රදානය කළ නමුත්, බල්ලෙකුට කර පටියක් ඇන්ද වූ කලෙක ලෙසින් - ඒවා මට නිකම් විහිළු සේ, කරදර සේ, පෙනෙන්නට පටන් ගත්තේ ය!

      එක් වරම පාවහන් නැතිව ගමන් කිරීම මට ද අපහසු කරුණක් විය.අනුක්‍රමයෙන් - ටිකෙන් ටික - පාවහන් විරහිතව ඇවිදීමට පුරුදු වූයෙමි.සෙසු සැම සත්වයෙකු මෙන් ම මිනිසා ද, ස්වාභාවික ඇඳුමෙන් විසුම් ගන්නා පරිද්දෙන් සර්වබලධාරීන් වහන්සේ විසින් මවන ලැදැයි මම කල්පනා කරමි.ලෝකයේ බොහෝ රටවල වාසය කරන මනුෂ්‍යයින් වෛවර්ණ මෝස්තරයේ ඇඳුම් අයිත්තම්වලින් තම තමන්ගේ ශරීර අලංකාර කරන්නේ ශීතය නිරාවරණය කර ගැනීමටත් වැඩියෙන් විලාසිතාවට ගරු කිරීමක්, ඇබ්බැහි වීමක් වශයෙනැයි සිතේ.ඇත්තක් ඇති සැටියෙන් ම කියතහොත්, මා ලංකාවේ දී අඳින්නට පුරුදු වූ ඉන්දියානු ඇඳුම මගේ ගතට සිතට හා සනීපයට ආශීර්වාදයක් වූ බව කිව යුතු ය.රෙද්දක් ඇඳ , පයෙහි පාවහන් නොදමා, උඩු කය තවත් සිහින් රෙද්දකින් වැසූ විට මේ ඉන්දියානු ඇඳුම සම්පුර්ණ වන්නේ ය."මම සුවපහසු දනවන සුන්දර ඇඳුමට" මම තව ද එක් අංගයක් එකතු කළෙමි.එනම් මේ රටේ ජාතික ලක්ෂණයක් බවට පත් වී ඇති, වියතක් පමණ දිගට වවනු ලබන රැවුලයි.මා ලංකාවේ සිර ජිවිතයක් ගත කළ මුළු කාලය මුළුල්ලේ ම මගේ ඇඳුම මෙය විය.මා සිර බරින් මිදී කොළඹ ඕලන්දක්කාරයින්ගේ ආරක්ෂාව යටතට පත් වූ ඉක්බිති, ඔවුන් මට නැවතත් යුරෝපීය ඇඳුම් ඇන්දවූයේ බලවත් පෙරැත්තෙන් හා මගේ ඉමහත් අකමැත්තෙන් බව මෙහි ලා පල කළ යුතු ය.
      කල් යත් යත්, මට 'සිල්ලර' 'තුනපහ' ආදිය හීන වන්නට වුවත් දෙවියන් හට ස්තෝත්‍ර වන්නට සහලෙන් නම් කිසි දිනෙක කිසි අඩුවක් නො වී ය.මුදල් ද හීන විය. එසේ වුව ද විනෝදයට මෙන් අමුතු බතක් කන්නට සිත දුන් අවස්ථාවල දී ඉහත සඳහන් කළ කළු කොල්ලාත් කැටිව, බිලිපිති ඇතිව ගං තෙරකට ගොස් මසුන් බිලී බා ප්‍රණීත භෝජනයක් පිළියෙළ කර ගැනීම මගේ සිරිත විය.

      එක් දවසක් මගේ කළු කොල්ලාත් කැටිව ගං තෙරක බිලී බාමින් සිටිය දී වයස්ගත මනුෂ්‍යයෙක් එහි පැමිණ කොල්ලා අමතා -

      "උඹලාගේ මහත්මයාට අකුරු කියවන්න පුළුවන්දැ?" යි ඇසී ය.

      "ඔව්!" යැයි මෙහෙකරුවා පිළිතුරු දුන් ඉක්බිති, මහල්ලා එසේ විමසුවේ ඇයි දැ ? යි මම කොල්ලාගෙන් ඇසීමි.මා ඇසූ පැනය මේ යැයි සිතින් සිතා ගත් මහලු මනුෂ්‍යයා මෙහෙකරු අමතා මෙසේ කීය :

      "පරංගින් කොළඹ කොටුව අත් හැර ගිය දවසේ මට ලැබුණා පොතක්.උඹලාගේ මහත්මයාට ඕනෑ නම් මා ඒ පොත විකුණන්නට කැමතියි!"
     
      මෙය ඇසූ මම, මහලු මනුෂ්‍යයා කැටිව ඔහුගේ නිවසට ගොස් පොත කුමක්දැයි බැලීම පිණිස එය ගංතෙරට ගෙන එන ලෙස කොල්ලාට නියම කළෙමි.එය කිසිඳු වැදගැම්මකට නැති පරංගි පොතක් විය හැකියයි සිතුණ ද මේ පොත බැලීමේ කුතුහලයක් මා තුළ පහළ විය.

      මීට ඉහතින් ද ඉංග්‍රීසි මනුෂ්‍යයන් අතර මෙහෙකාරකම් කර පුරුදු වූ කොල්ලා, ප්‍රථම දර්ශනයෙන් ම පොත හැඳින්නේ ය.

      "මහත්මයා ඒක බෛබලයක් - ඒක බෛබලයක් යැ!"යි මොර ගසමින් හෙතෙම මා සමීපයට දිව ගෙන ආවේ ය.මෙය ඇසීමෙන් මා තුළ ඇති වූ ප්‍රීතිය අසීමිත ය.මා ළඟ බෛබලයක් නොවී ය.මේ ජිවිතයේ දී යළිත් බෛබලයක් ලැබීමේ - බැලීමේ - ආශාව ද මා දුර ගසා බොහෝ කල් විය.එහෙයින් ප්‍රීතියෙන් පිනා ගිය මම බිලී පිත්ත පැත්තකට විසි කොට බෛබලය අතට ගතිමි.ගත් සැටියේ මා අතින් පෙරළුණේ බෛබලයේ දහසය වැනි පරිච්ඡේදය ය.එහි මා ඇස ගැසුණු ප්‍රථම ස්ථානය තිස් වැනි පද්‍යය ය.මේ පද්‍යයෙන් ශාන්ත පෝල් අමතා සිරකරුවෙක් මෙසේ අමතයි :

      "විමුක්තිය ලැබීමට මා කුමක් කළ යුතු ද?" මේ පැනයට ශාන්ත පෝල් ගෙන් මෙසේ පිළිතුරු ලැබිණ.

     "ජීසස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනු.එවිට ඔබටත් ඔබගේ නිවසටත් විමුක්තිය ලැබෙන්නේය."

      මෙම මහාර්ඝ ග්‍රන්ථ රත්නය දකින්නට ලැබීමෙන් මා තුළ ඇති වූ ප්‍රීතිය වර්ණනා විෂයාතික්‍රාන්ත ය.එහෙත් දෙවනුව මා තුළ මතු වූ හෘදය ශෝකය හා භීතිය සීමාතික්‍රාන්ත වූයේය.ප්‍රීතිය උදා වූයේ කෙදිනකවත් නොලැබිය හැකි අගනා වටිනා ග්‍රන්ථයක් දක්නට ලැබීමෙනි.ශෝකය හා භීතිය ඇති වූයේ එය මිල දී ගැනීමට තරම් වූ කාසි පනම් මා අත නැති බව මතක් වීමෙනි.

      මේ ලෝකයේ මා සතුව පැවැති එක ම ධනය, එක ම වස්තුව, බූදලය, එක ම එක පගෝදියක් විය."මේ පගෝදිය ගෙන මහල්ලා පොත දුන්නහොත් හොඳයි.නොදුන්නහොත්?"

      මා මෙසේ කල්පනා කළ නමුත් මගේ සේවකයා කල්පනා කෙළේ අන් ලෙසකිනි.මුදලින් කළ යුතු නොයෙක් කටයුතු මතු මත්තෙහි දී වැඩි වැඩියෙන් මතු විය හැකි බැවින් මා සතු එක ම පගෝදිය පොතක් සඳහා වියදම් කිරීම නුවණට නුහුරු බව පල කළ කළු කොල්ලා, එතරම් නොවටිනා දෙයක් දීමෙන් පොත ගත හැකි බව ම කියා සිටියේ ය.එහෙයින් මම ද ඔහුගේ අදහස අනුමත කොට සුළු මුදලකට පොත කේවෙල් කරන්නටත්, බැරිම වුවහොත් පගෝදිය හෝ ගෙවා පොත මිළ දී ගන්නටත් තීරණය කර ගතිමි.
     
      මෙසේ කල්පනා කරමින් සිටිය දී රෑ බෝ විය.එහෙයින් පොත මිළ දී ගැනීමට මගේ සේවකයා පසු දින උදෑසන සිය නිවසට එවන බව මහලු මිනිසාට පවසා අපි ගෙදරට පැමිණියෙමි.රාත්‍රී කාලයෙහි මට ගිය නින්දක් නැත.පොත ලබා ගත හැකි වේදෝ නොවේදෝ යන දෙගිඩියාවෙන් පසු වුණෙමි.දවස පහන් වූ වහා ම, පොත ගැනීමට එදා රෑ ඔහු විසින් ගොතන ලද හිස් වැස්මකුත් ඇතිව මම සේවකයා පිටත් කළෙමි.බලාපොරොත්තුව ඉටු විය.හිස්වැස්ම ගෙන ඒ වෙනුවට බෛබලය දෙන්නට මහලු මනුෂ්‍යයා කැමැති විය.පගෝදිය බේරුණි.මගේ ප්‍රීතිය ඉතිරිණි.
{ 1.Pagoda. රත්රනින් නිමවූ ඉන්දියානු කාසියකි.එවකට ලක්දිව භාවිතා විය. }

     අත්පත් කර ගන්නට ලැබුණු මෙම හස්තසාර වස්තුවෙන් මා තුළ ඇති වූ ආනන්දය ඉමහත් බව අමුතුවෙන් කිව යුතු ද? ජන්ම භූමියෙන් සැතැපුම් දහස් ගණනක් දුරු වූ, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ගැන හෝ වේවයි නාමය ගැන හෝ වේවයි අන්ශුමාත්‍ර වශයෙන්වත් අසා නැති, ඉන්ග්‍රීසි මනුෂ්‍යයකු දෑසට දැක නැති ජනතාවකගෙන් සැදුම් ගත් පරසමුද්‍රගත දූපතක සිරකරුවකු බවට පත් වී සිටින මා වැන්නකුට, මගේ ජන්ම භාෂාවෙන් ම ලියන ලද, මා සකල ලෝකයේ පරමෝත්තම ග්‍රන්ථය හැටියට අභිවාදන පවත්වන බෛබලයක් ලැබීම කොතරම් ප්‍රීතියක් ද? කොතරම් අස්වැසිල්ලක් ද? මේ පොත වූකලී, අසරණ වූ අනාථ වූ මා දෙස බලා, මා කෙරෙහි අනුකම්පාවෙන් දෙවියන් වහන්සේ විසින් ම මා වෙත එවන ලද දේවදත්ත පරිත්‍යාගයකැයි ඒත්තු ගතිමි.ත්පත් කර ගන්නට ලැබුණු මෙම හස්තසාර වස්තුවෙන් මා තුළ ඇති වූ ආනන්දය ඉමහත් බව අමුතුවෙන් කිව යුතු ද? ජන්ම භූමියෙන් සැතැපුම් දහස් ගණනක් දුරු වූ, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ගැන හෝ වේවයි නාමය ගැන හෝ වේවයි අන්ශුමාත්‍ර වශයෙන්වත් අසා නැති, ඉංග්‍රීසි මනුෂ්‍යයකු දෑසට දැක නැති ජනතාවකගෙන් සැදුම් ගත් පරසමුද්‍රගත දූපතක සිරකරුවකු බවට පත් වී සිටින මා වැන්නකුට, මගේ ජන්ම භාෂාවෙන් ම ලියන ලද, මා සකල ලෝකයේ පරමෝත්තම ග්‍රන්ථය හැටියට අභිවාදන පවත්වන බෛබලයක් ලැබීම කොතරම් ප්‍රීතියක් ද? කොතරම් අස්වැසිල්ලක් ද? මේ පොත වූකලී, අසරණ වූ අනාථ වූ මා දෙස බලා, මා කෙරෙහි අනුකම්පාවෙන් දෙවියන් වහන්සේ විසින් ම මා වෙත එවන ලද දේවදත්ත පරිත්‍යාගයකැයි ඒත්තු ගතිමි.
     

2. පරිච්ඡේදය

මපියාණන්ගේ මළගම - බණ්ඩාර කොස්වත්තේ ගත කළ සිර ජීවිතය - මා අත තිබුණු " බැති පුරුදුවෙන් " මා ගාථා කියූ සැටි. පියාගේ අසනීපය - පියාගේ අවසාන ඉල්ලීම - මා අතින්ම සෑරූ වළෙහි පියාණන් භූමි දාන කළ සැටි ! අහෝ, මම නන්නාඳුනන රටක තනි වීමි. අනාථ වීමි. අසරණ වීමි.


පියාගේ මළ ගම
     ර්ෂ 1660 ටේ සැප්තැම්බර් මස 16 වැනි දින කන්ද උඩරට රජතුමා, මාත් මපියාත්, බණ්ඩාර කොස්වත්ත නම් ග්‍රාමයට යැවුයේ ය.ආනන්ද ජනක විවේක ශීලී ස්ථානයක් වූ මෙය මහනුවරින් සැතපුම් තිහක් පමණ උතුරින්, සත්කෝරලය නම් ප්‍රදේශයෙහි පිහිටියේ ය.අපේ සෙසු අය ජිවත් වූ ස්ථානයේ සිට මෙතැනට ඇත්තේ පුරා දවසක ගමනකි.

      අප මෙම ප්‍රදේශයට ගෙන එනු ලැබූ ප්‍රථම වර්ෂයේ උණ රෝගය තදින් පැතිර යාම හේතු කොට ගෙන මෙම ප්‍රදේශය බෙහෙවින්ම දුඃඛිත තත්ත්වයක් උද්වහනය කළා ය.උණ රෝගයෙන් පෙළුණු රටවැසියන් බොහෝ දෙන එම රෝගයෙන් ම මිය ගියහ.මේ රෝග භය හේතු කොට ගෙන, උයා පිහා දෙන්නට කෙනෙකු නිරෝගීව නොසිටීම නිසා, අපට බොහෝ අවස්ථාවල දී කුස ගින්නේ පසු වන්නට සිදු විය.
      මා අත තිබුණු 'බැති පුරුදුව' (The Practice of Christianity) නම් පොතත්, රෝගර් මහතාගේ 'ක්‍රිස්තියානි පුරුදුව' නම් ලත් පොත් පොඩිත්තත් මේ අවාසනාවන්ත කාලයේ අපගේ තනි නොතනියට සිටි මිත්‍රයෝ වුහ.දවස පුරා නිවසෙහි දෝ හෝ නොහොත් සිරගෙයි සිටීමෙන් විඩාවට පත් වූ විට සන්ධ්‍යා සමයේ වෙල් එළියේ ඇවිදීම අපේ සිරිත විය.

      අප ද උණ රෝගයෙන් පීඩා වින්ද යුතුය යි දෙවියන් වහන්සේ තීරණය කරන තුරු, මෙපරිද්දෙන් අපි දවස් ගැලවීමු.හේ එසේ ම ය.අපට ද උණ රෝගය වැළඳුනේ ය.මා රෝගී වීමටත් වඩා මගේ සංවේගයට හේතු වුයේ පියාගේ රෝගය ය.පියාණන් හට උවටැන් කරන්ට ඉඩක් නොලැබෙන පරිද්දෙන් මට ද රෝග ග්‍රස්ත ව පියාගේ දුක දැක දැක ඉන්නට සිදු වීම මගේ ජිවිතයේ කටුකතර සිද්ධියක් හැටියට සැලකිය හැක්කේ ය.මා උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දකින බොහෝ අවස්ථාවල දී මපියා මට මෙසේ කියන්නට පුරුදුව සිටියේ ය :

      "නැවට පණිවුඩය ගෙන ගොස් නැවත ආපසු එන්නැයි ඔබට නියම කිරීමෙන් මා ඔබට කළේ විපතක්.ඔබ පියාට යුතුකම සැලකීම නිසා මෙසේ සිරකරුවෙක් වුණා!මා දැන් මහලු නිසා මට වැඩි කලක් සිර දුක් විඳින්නට සිදු වන්නේ නැහැ; එහෙත් ඔබ තරුණයි.දෙවියන් වහන්සේගේ අනුකම්පාව ඔබට නොලැබුණහොත් ඔබට ඉතා දිගු කාලයක් මේ සිර ජීවිතය ගත කරන්නට සිදු වනු නියතයි.ඔබට හැම විට ම දේවාශිර්වාදය ලැබේවා'යි මා නිරතුරුව ම යදිනවා!"

1. පරිච්ඡේදය

මා හෙළදිවට ආ සැටි - මගේ උපත හා ළමා කාලය - ළපටි සහෝදරයාහට මා අතින් වූ ඇබැද්දිය - නෞකා ජීවිතයට මුල පෑදුනු සැටි - අපේ අවාසනාවන්ත අවසාන ගමන - ඉන්දියන් සාගරයේ ප්‍රචණ්ඩ කුණාටුවට අසුවී ලංකාද්වීපය ආසන්නයට ගසාගෙන ආ අපේ නෞකාව - අප ලක්දිව සිරකරුවන් වූ සැටි ! 

මා හෙළදිවට ආ සැටි !
      මධ්‍යධරණී සමුද්‍රයේ වෙළඳාමෙහි නියුක්ත වෙළඳ නැවක අණ දෙන නිලදාරියෙකු වූ මා පියා නිරන්තරයෙන් ම වාසය කළේ මහ මුහුද මැද බැවින්, බහ තෝරන වියෙහි දී සිට ම මා හැදුනේ වැඩුනේ, මගේ මවගේ ගුරුහරුකම් අනුව ය.ආගමික භක්තියෙන් අග තැන් පැමිණි මගේ මාතාවගේ හදවතෙහි, දෙවියන් වහන්සේ නිරතුරුවම වාසය කළ සේක.ඇගේ හැම සිතුමක පැතුමක ම, ඇගේ හැම කතාබහක ම දේව භක්තිය ඉස් මතු වී දක්නට තිබුනේ ය.අම්මා අක්කාද කැටුව ගෙතුමක්‌ ගොතන විට හෝ මැහුමක්‌ මහන විට හෝ, ඈ ළඟින් ම බයිබලයක් පෙරළා තබා ගෙන, එහි ගැබ් වූ රසබර කතන්දර මට තෝරා දීම පුරුද්දක් කොට ගත්තා ය.'බැති පුරුදුව1' නම් ගාථා පොතක් මට දුන් මගේ මව, හැමදාම රාත්‍රියේ නින්දට යන්නට ප්‍රථම දේවස්තොත්‍ර පවත්වන්නට මට පුරුදු කළා ය.කොටින් ම,හොඳ හා හාද වී නොහොඳ හා වාද වී වාසය කිරීමේ අනුහස්, හය හතර දැනගත් දා පටන්, මගේ මව මට ඉගැන්වූවා ය.
{1. "Practice of Piety" නම් ගාථා පොත : ස්වකීය මාතාව ඔහුට තෑගි කළ මේ පොතේ පිටපත,ඔහු ලක්දිව සිරකරුවකු බවට පත්වන විටත් ඔහුගේ සාක්කුවේ තිබුණේ ය.}
      මා පාසල් යන වයසට පත්වූ ඉක්බිති, පසු කාලයක වෝසෙස්ටර්හි අග්‍ර රාජගුරු පදවියට පත් වූ ආචාර්ය ජේම්ස් ෆ්ලිම්වුඩ් විසින් රෝහැම්ප්ටන් නගරයේ පවත්වන ලද නේවාසික පාඨශාලාවකට ඇතුල් වී අකුරු උගෙනීමේ වාසනාව මට උදා විය.එවකට මපියාණන් විසූයේ සරේ දිස්ත්‍රික්කයේ විම්බල්ඩන් ග්‍රාමයේ ය.මගේ ජිවිතයේ දී අත්දකින්නට ලැබුණු ප්‍රථම අවාසනාවන්ත සිද්ධිය සිදු වූයේ මේ ස්ථානයේදී ය.

      එය නත්තලට කළින් -දා විය.මගේ වයස අවුරුදු නවයක් වන්නට ඇත.මපියාණන්ගේ සේවකයන්ගෙන් කෙනෙක් කුරුල්ලන් වෙඩි තැබුමට වෙල් එළියේ ගොස් වෙඩි බෙහෙත් නිමා වූ තුවක්කුව ගෙනැවිත් ගෙදර බිත්තියේ හේත්තු කර තිබුණේ ය.නත්තල් ප්‍රීතිය සඳහා තව ද කුරුල්ලෙකු දෙන්නෙකු දඩයම් කර ගැනීම සේවකයාගේ ප්‍රීතිය වූ නිසාදෝ හෙතෙම තවත් වෙඩි බෙහෙත් බිඳක් ගෙන එන්නට ඇතුළු ගබඩාවට ගියේ ය.මේ අතර තුවක්කුව ඇත පත ගෑමේ ස්වභාවික අභිලාශයක් මා සිත තුළ නළියන්නට පටන් ගත.කොකා ගස්සන හැටි මා බලා සිට පුරුදු ය.එහෙයින් මැද මිදුලේ අසුලා කමින් සිටි පරෙයියෙකුට වෙඩි තැබීමේ අදහසින් මම තුවක්කුව එසැවිමි.එහෙත් එහි කඳ කලින් සිත සිටි තරමට වඩා බර වැඩි වූයෙන්, එය අතෙහි නොරැඳී බිම වැටුණේ ය.අවාසනාවක මහත ! එය වැටුණේ බිමට නොව බිම සිටි මගේ තුන් හැවරිදි මගේ මලණුවන්ගේ හිස උඩට ය.තුවක්කුවේ මහත කොණ මේ නොදරුවාගේ නෙතෙහි වැදීම හේතු කොට ගෙන මුළු ගෙයම ගිනි වැදුණේ ය.සිදු වූ ඇබැද්දිය පිලිබඳ පුවත ලන්ඩනයේ සිටි  මපියාණන් හට වහාම සැල කරන ලදින්, හෙතෙම ශල්‍ය ව්යිද්‍යවරයෙකුදු රැගෙන ලහිලහියේම පැමිණියේ ය.මලණුවන්ගේ තුවාලය සුව කරගන්නට පුළුවන් විය.එහෙත් නෙතේ පෙනුම නම් ලබා ගන්නට නොහැකි වුණේ ය.මා ලක්දිව විසි අවුරුදු සිර ජිවිතයක් ගත කර පෙරලා ගම රටට පැමිණි විටත්, ඉතිරි වූ එක ඇසින් දඟකාර අයියා දැක ගැනීමට මගේ සහෝදරයා ජීවත් වුණේ ය.

ඔහුට පෙනුණු ඇතැම් දේ

       *කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය.

       *උගුල් ඇටවිමටත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහි ම නැත්තෝ ය.බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලින් ඔහුට පත්තුවක් ගල්වා බිඳුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකි ය.

       *හස්තකර්මාන්තාදිය ගැන සිංහලයා මිට වඩා වැඩි සැලකිල්ලක් දක්වතොත් ඒවා දියුණු කරගත හැකි ය.එහෙත් සිංහලයා ස්වාභාවයෙන් ම අලස කම්මැලි ජාතියෙකි. එහෙත්


       *ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්න ය; මද්‍යපානය නො බොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නොතබන්නේ ය.

       *සිංහලයා ඉතා විනීත ය; ආගන්තුක සත්කාරයෙහි තත්පර ය; ස්වදේශින් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය.එනමුදු


       *ඔහු ගේ එක් භයානක නරකක් නම් බොරු කීමයි. එයද අසුවන ලෙසින් කීමයි!
                                               

AUTHOR'S PREFACE

      This book was written by me Robert Knox (the son of Robert Knox who died in the island of Ceylon) when I was about 39 years of age.I was taken prisoner in Ceylon.4th April 1660.I was born on Tower Hill, London, 8th February 1641. My age when taken prisoner was 19 years 1 month 27 days. Continued prisoner there 19 years 6 months 14 days, so that I was a prisoner there 4 months and 17 days longer than I had lived in the world before, and on 18th October 1679, God set me free from that captivity.

                                                                                                                                         ROBERT KNOX
London,
1696



කතෘගේ සංඥාපනය
      මෙම ග්‍රන්ථය (ලංකාද්විපයෙහි මිය ගිය රොබට් නොක්ස් ගේ පුත්‍ර) රොබට් නොක්ස් වන මවිසින් වයස 39 පමණේ දී ලියන ලදී.1660 අප්‍රියෙල් මස 4 වැනි දින ලංකාවේ දී මම සිරකරුවකු බවට පත් වීමි.මා ලන්ඩන්හි ටවර්හිල්හි උපන්නේ 1641 පෙබරවාරි මස 8 වැනිදා ය.සිරකරුවකු බවට පත්වන විට මගේ වයස අවුරුදු 19 කුත් මාස 1 ක් හා දින 27 විය.සිරකරුවකු වශයෙන් අවුරුදු 19 කුත් මාස 6 ක් හා දින 14 ක් ගත කළෙමි.මෙසේ බලන විට, මා මේ ලෝකේ  නිදහස් ලෙස ජිවත් වූ කාලයට වඩා සිර කරුවකු ලෙස ජිවත් වූ කාලය මාස 4 කුත් දින 17 කින් වැඩිය.වර්ෂ 1679 ඔක්තෝම්බර් මස 18 වැනි දින දෙවියන් වහන්සේ මා නිදහස් කළහ.


                                                                                                                                           රොබට් නොක්ස්
ලන්ඩන්,
1696

ප්‍රස්තාවනා

      හෙළදිව පිලිබඳ තොරතුරු අළලා ඉතිහාස කථා ලියූ විදේශීය දේශපර්යටකයන් අතර,සතළොස් වැනි ශතවර්ෂයේ දී ලංකාව තරණය කළ රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි නැවියා ප්‍රථම ස්ථානය ගන්නේ ය.

      ඈත අතීතයෙහි පටන් ලෝකයේ නොයෙක් රටවල සිට දේශ සංචාරක අමුත්තෝ ලක්දිව පැමිණියෝ ය.ඔවුනතුරෙන් ලෝක ඉතිහාසයේ නම සඳහන් වන ප්‍රතමයා වූ කලී අරාබි නිසොල්ලාසයේ ජනප්‍රිය කථා නායකයා වූ සින්ඩ්බට් නම් නැවියා ය. බැග්ඩෑගඩ්හි හෞරාන්සිබ් අධිරාජයාගේ තානාපතියා වශයෙන් ම නොව සත් සමුදුරෙහි සත් වතාවක් ම අවදානම් ගමන් ගිය නැවියෙකු වශයෙන් ප්‍රසිද්ධ වී,දිවයින් යැයි සිතා තල් මසුන් ගේ පිට උඩට ගොඩ බැස,රිදී පර්වත යැයි සිතා ඇත්කඳ ලිහිණියන් ගේ බිත්තර උඩට නැඟ,මාණික්‍ය සොය සොයා මහකෙළ නාරජුන් පරයන උරගුන් ගේ ගිරිය දිගේ රිංගා,අනන්වේෂිත වීර වික්‍රමයෙන් වියරු වැටී,අනූනවයෙන් බේරී යහතින් ලංකාද්වීපයට සැපත් වූ සින්ඩ්බඩ් නම් නැවියා ක්‍රිස්තු වර්ෂ 808 දී ලක් රජය කළ අනුරාධපුරයේ දෙවැනි දප්පුල රජුගේ ආගන්තුක සත්කාර වින්දේ ය.එවකට ලංකාව සිරන්ඩිබ් නම් විය.

      ත්‍රිපිටකධාරී බෞද්ධ මහ දේශපර්යටක පාහියන් චීනයේ සිට ගෝබී කාන්තාරය හරහා ඉන්දියාව ඔස්සේ තාමුලිප්ති නම් තොටින් ලක්දිවට ගොඩබැස අනුරාධපුරයට පැමිණියේ ය.(399-444) නයිල් ගඟබඩ වෙළහෙළඳාම් කොට ලාභ බඩු සොය සොයා රටින් රට ගිය මිසර වෙළඳ ව්‍යාපාරිකයකු වූ කොස්මස් ත්‍රිකුණාමලයෙන් ගොඩ බැස අනුරාධපුරටය ගියේ ය.ඔහු එන විට කාශ්‍යපයන් සීගිරිය පමණක් නොව,සිය විජිතය පමණක් නොව,සිය ජීවිතය ද අතහැර පරලෝ සැපත් වී සැත්තෑ වසක් ම ඉක්ම ගොස් තිබිණ.එකල ලක්දිව ටැප්‍රාබේන් නම් විය.(540-560) එවකට ලක් රජය කෙළේ මහා කවියකු වශයෙන් ප්‍රකට ව විසූ දෙවැනි මුගලන් රජ ය.සීගිරියේ චිත්‍ර බලා නෙත් පිනවා ගත් හෙතෙම රෝම රාජ්‍යයෙහි ලංකාව සම්බන්ධයෙන් පැතිරී පවත්නා කිර්ති රාවය ද විස්තර කොට රෝම අධිරාජ ක්ලෝඩියස් සීසර් රජුගේ රාජ භවනයට ලංකාවෙන් ගිය තානාපතිවරයා ගෙන ගිය කළු දොදොල්හි රසය තාමත් රෝමයන් ගේ රෝමයක්‌ පාසා ඇති බව කොස්මස් මුගලන් රජුට සැළ කෙළේ ය.

      ග්‍රීසියේ තාරකා ශාස්ත්‍රඥයකු වූ ටොලමි ද,ලංකාවට ගොඩ බැස ඔහුගේ ප්‍රකරණයකට ඇතුළත් කිරීම සඳහා නොයෙක් කරුණු සොයාගත් බව වාර්තා වී ඇත්තේ ය.

      හියුංසාං නම් සුප්‍රකට චීන දේශපර්යටක භික්ෂුන් වහන්සේ අයොධ්‍යා, මිථිලා, ප්‍රයාග. කෞසමබි, ශ්‍රාවස්ති, කපිලවාස්තු, කුසිනාරා, පාටලීපුත්‍ර, නාලන්දා, රාජගෘහ හා ගයාව පසු කොට අනුරාධපුරටය පැමිණියහ.උන්වහන්සේ ලංකාව හා එවකට ලංකා ශාසනය පිලිබඳ තොරතුරු රැසක් ස්වකීය භ්‍රමන වෘත්තාන්තයට ඇතුළත් කළහ.
ඩේවිඩ් කරුණාරත්නයන් විසින් පරිවර්තනය කොට රචිත " එදා හෙළ දිව " පොතෙන් උපුටා ගන්නා ලදී..