Sinhalese translation of AN HISTORICAL RELATION OF THE ISLAND OF CEYLON by Robert Knox published by Richard Chiswell at London, 1681
අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න
Small Medium Large Larger Largest

4. පරිච්ඡේදය

මම ගෙදොරක් සාදා ගතිමි.අපේ සහෝදර සිර කරුවන් අතුරින් මට පළමු කොට මුණ ගැසුණු තැනැත්තා -රජ්ජුරුවන්ගේ පොල් වත්තෙහි මා සැදු නිවාසය - එහි බිත්ති සුදු හුණු ගෑමෙන් මා නො දැනුවත්වම කළ රාජ අපරාධය ! සුදු සිර කරුවන් කෙරේ සිංහලයන් තුළ පැවති නිසැක සැකය !


ගෙදොරක් සාදා ගතිමි 
      මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට මුණ ගැසෙන විට, මගේ පියාණන් මිය ගොස් පුරා අවුරුද්දක් ඉක්ම ගොස් තිබුණේ ය. අවුරුද්දකට පසු, නිලධාරීන් හට බලවත් ලෙස කන්නලවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපේ කණ්ඩායමේ කෙනෙක් වූ (දැන් මා වැනි සිරකරුවෙකි) ජෝන් ග්‍රැගරි හට මා බලන්නට එන්නට අවසර ලැබුණේ ය. එහෙත්, ඒ පැය විසිහතරකට වැඩි කාලයක් එකට පසුවීමේ තහනම ඇතිව ය.

     පුරා වර්ෂයකට පසු සහෝදර සිරකරුවකු මුණ ගැසෙන්නට ලැබීම ඇසට රසඳුනක් බඳු විය. එසේම අපගේ මුණ ගැසීම ජෝන් ග්‍රැගරිගේ ද අසමාන ප්‍රසාදය පිණිස විය. මොහු මුණ ගැසෙන තුරු අපේ අනෙක් සිරකරුවන් පිලිබඳ මුදු මහත් කිසිඳු තොරතුරක් දැන ගන්නට ඉඩක් හෝ මගක් මට නො ලැබුණේ ය. එහෙත් ඔවුන් සියලු දෙන ම දවසක ගමනකට දුරින් වාසය කරන බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ. ග්‍රැගරි හට දෙන ලද අවසරය පූර්වාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින්, මට ද ඔවුන් දකින්නට යන්නට අවසර දෙන ලෙස මම ද කන්නලවු කෙළෙමි. මදක් කල් පසුවී වුව ද එම අවසරය අන්තිමේ දී මට ලැබිණ. ඉතා අසන්නයෙහි ම වාසය කළ ඉංග්‍රීසීකාර මනුෂ්‍යයාගේ නිවසට මම ගියෙමි. මා ඉතා සමාදරයෙන් පිළිගත් හෙතෙම ඊළඟ, දිනයේ දී ඒ ආසන්නයේ වාසය කළ අපගේ මිතුරන් සංක්‍යාවක් ම ඒ නිවසට කැන්දා ගෙන ආවේ ය. අපේ කට්ටිය අටදෙනෙකුගෙන් සමන්විත විය.

    දින දෙක තුනක් ප්‍රීති සමාගමයෙන් හා ප්‍රිය සම්භාෂණයෙන් ගත කොට, නැවත හමුවන බවට ගිවිසුම් දී, ඔවුනොවුන්ගෙන් සමුගෙන අපි සිය සිය නිවෙස් බලා පිටත් වුනෙමු.එකිනෙකාගේ වාසස්ථාන දැක - දැන ගන්නට ලැබීම සිතට ධෛය්‍යයක් විය.

    මෙම රටෙහි (මපියාණන් අවසන් හුස්ම හෙළු බණ්ඩාර කොස්වත්ත නම් ගමෙහි) අවුරුදු ගණනක් වාසය කිරීමෙන් පසු, ඔවුන්ගේ භාෂාව මට තේරෙන්නට විය.ටික ටික කථා කරන්නට ද පුළුවන් විය.උණ රෝගය ද සුව විය.මට වාසය කරන්නට දී තිබුණු, ගොවියෙකුගේ නිවසට යාකොට තනා තිබුණු අපිරිසිදු මැදිරියේ ජීවත්වීම මට තිත්ත වන්නට විය.

     මා වාසය කළ නගරයට ඉතා ආසන්නයෙහි කන්ද උඩරට මහරජතුමාට අයත් වූ ඉතා සශ්‍රීක ලෙස වැවුණු සිත්කලු පොල් උයනක් විය.මෙහි ගෙයක් තනා ගැනීමට මා තුළ පැවැති බලවත් ආශාව නිලධාරීන් ඉදිරියේ තැබීමෙන් පසු ඒ සඳහා අවසරය දෙන්නට ඔවූහු ඉතා කාරුණික වූවෝ ය.හුදු අවසරයෙන් නොනැවතී, මගේ ගෘහ කර්මාන්තය සම්බන්ධයෙන් ඔවූහු මට උපකාර ද වූවෝ ය.

     ගෙය තනන්නට පටන් ගැනීමෙන් පසු එය නිම කර ගන්නා තෙක් මා තුළ ඉස්පාසුවක් නැති විය.අන්තිමේ දී ගෙය තනා නිමකර ගතිමි.එහෙත් සාදා නිම වූ මොහොතේ, වනගත හස්තියෙකුගෙන් එය විනාශ නො වී බේරුණේ යම්තමිනි.ඒ සිද්ධිය මෙසේ ය.

     මෙම අලුත් නිවසට නුදුරින් මා සූකර කොටුවක් තනා තිබුණේ ය.මෙම කොටුව තනා තිබුණේ කිතුල් කදන් වලිනි.වල් අලි කිතුල් කදන් පලා එහි බඩය කෑමෙහි රුසියෝ ය.කිතුලේ ඉව වැටුණු හස්තියෙක් දවසක් දා රාත්‍රී මෙම කොටුවට කිට්ටු කළේ ය.මාත්, මගේ සේවකයාත් නිවසෙහි සිටින විට ඊට යාබදව පිහිටි සූකර කොටුව ආසන්නයෙන් හස්තයෙකු ගේ නාදයක් ඇසිණි.මමත් සේවකයාත් හුළු අතු අල්වා ගෙන එතැනට දිව ගියෙමු.එවිට අපිට දක්නට ලැබුණේ කිතුල් කදන් කෑමෙහි ආශාවෙන් සූකර කොටුව බිද විනාශ කරමින් සිටි දැවැන්ත හස්තියෙකි.එළි දල්වා ගෙන අප කළ ඝෝෂාව හේතු කොට ගෙන, කොටුව බිදීම එතෙකින් නවත්වා, මගේ නිවාසය ද එහෙයින් ම බේරා, ඇතා වනයට ම යන්නට ගියේ ය.ගිනි එළියට ඇතා භය ය.ගොවියන් බොහෝ විට ඔවුන්ගේ ගොවිපලවල් වල් අලින්ගෙන් බේරා ගන්නේ විශාල ගිනි මැල දල්වා තැබීමෙනි.මෙම ගුරුකම අනුව එදා රාත්‍රියේ අපි ගිනි මැලයක් දල්වා තැබීමි.ඊට පසු අලියා නොපැමිණියේ ය.

     කරන්නට සෙසු කටයුත්තක්  නැතිව උකටලීව සිටි මට මෙම ගෘහ කර්මාන්තයෙහි නියුක්ත වීමට ලැබීම ප්‍රීතියක් විය.මගේ කාලය ප්‍රයෝජනවත් ව ගෙවී ගියේ ය.තනා ගන්නා ලද මෙම නිවසට කාමර දෙකක් විය.මුළුතැන්ගෙය හැටියට ප්‍රයෝජනය ගන්නා ලද කාමරය මගේ සේවකයාගේ කුටිය විය.අනෙක් කාමරය මගේ පෞද්ගලික කුටිය හැටියට පාවිච්චි කළෙමි.මා මෙහි බිත්ති බැද ගත්තේ උස් අතට කොටු සිටුවා, හරස් අතට ද කෝටු දමා වරිච්චි බැද ඒ වරිච්චි  මැද දෙපැත්තෙන් මැටි ගැසීමෙනි.පළමු කොට කටු මැටි ගැසීමෙන් පසු, භිත්ති වේලෙන්නට හැරීමි.මෙසේ වියලී යෑමේ දි බිත්ති ඉරි තැලූ නමුත් දෙවැනි තුන්වැනි වරටත් මැටි බදාමයක් ගැසීමෙන් පසු ඉරිතැලීම නැවතිණ.මෙහි දී සැලකිය යුතු එක් කරුණක් නම්, බිත්ති බැදීමේදී, අපේ රටේ මෙන් මේ රටේ `මේසන්` හැදි පාවිච්චි නොකරති.දෙවැනි මැටිය ගසා බිත්තිය මෘදු කිරීම පිණිස ඔවුන් පාවිච්චි කරන්නේ අත්ල ය. අත්ල තෙමා බිත්තියේ ඇද්දීමෙන්, එහි මතු පිට මෘදු මොලොක් වන්නේ ය.මැටි ගැසීමෙන් සෑහීමකට පත් නොවූ මම හුණු කපරාරුවක් ද අතින් ම කෙළෙමි.එවිට මගේ නිවස සුදෝ සුදුව බැබලෙන්නට පටන් ගතී.

3. පරිච්ඡේදය

මට කල දවස ගෙවුණු සැටි - මගේ තනියට සිටියේ අකීකරු කළු කොල්ලාත් අවාසනාවන්ත ගැහෙන උණ රෝගයත් පමණිකි - ඇඳුම් ඉරී වැහැරී ගිය බැවින් රෙදි කඩකින් විලි වසා ගෙන කල දවස ගත කළ සැටි - පරංගින්ගෙන් ලැබුණු බෛබලයක් මහල්ලා මට විකුණූ සැටි මගේ එකම හිතවතා බෛබලය විය!


කල දවස ගෙවුණු සැටි !
      පියාගේ මරණයෙන් පසු මගේ තනි නොතනියට සිටියේ මීට පෙරද වරක් සඳහන් කල කළු කොල්ලා පමණකි.තුන් දවසකට වරක් මට තනි රැකීම සඳහා උණ රෝගය ද පැමිණියා ය.රෝගයෙන් නොපෙළුණු හැම දවසක ම මගේ දින චරියාවේ විශිෂ්ට ස්ථානයක් ගත්තේ පතපොත කියවීම, භාවනා කිරීම හා දෙවියන් යැදීම යි.කියවීමෙහි භාවනාවෙහි හා යාචිඤාවෙහි දැනට වැඩි ප්‍රීතියක් මට එකල තිබුණේ ය.කවර හෙයින් දයත් ?මට කළ හැකි, මට සැනසීම ලබා දිය හැකි, සෙසු කිසිවක් නොවූ බැවිනි.එසේ වුව ද මට කියවන්නට තිබුණේ මා මීට පෙර සඳහන් කළ පොත් දෙක පමණකි.මේ පොත් දෙක කොතරම් කියවූයෙම් ද යත් ?පොත් දෙක ම මට කට පාඩම් සිටියේ ය.දිවා භෝජනයෙන් පසු පොතක් අතට ගෙන වෙල් එලියට ගොස් එහි ගසක් මුල වාඩි වී සැන්දෑව වනතුරු එය කියවීමත්, කියවීම ඉක්බිති භාවනා කිරීමත් මගේ සිරිත විය.මේ සිරිත කඩ වූයේ උණ රෝගයෙන් ඔත්පල වූ දින වල පමණකි.ඒ දිනවල දී පොත් කියවනු - භාවනා කරනු තබා මගේ හිස ඔසවා ගෙන සිටින්නටවත්  ශක්තියක් හෝ සිහියක් නො වී ය.ජීවිතය මට බරක් වූ බැවින් දෙවියන් වහන්සේ දැන් දැන් මගේ මෙලොව ජීවිතය අවසන් කෙරෙත්වා යි කජු ගසක්1 යට සිට දෙවියන් යැදී එළිජා2 ලෙසින්, මමත් ජිවිතය තිත්ත වී යාතිකා කළෙමි.
{ 1. Juniper tree
   2. Elijah බෛබලයේ එන චරිතයකි. }

      මඳ කලෙකින්, දෙවියන් වහන්සේගේ අභිලාෂය වූ පරිද්දෙන්, දහසය මසකට පසු, මගේ උණ රෝගය අනුක්‍රමයෙන් සුව වී ගියේ ය.

      මා ලංකාද්වීපයේ ගතකළ සිරකරු ජීවිතය පිලිබඳ වාර්තාවක් මගේ මේ අතින් ග්‍රන්ථාරූඪ කර තැබීම මැනැවැයි සිතෙන බැවින්, මගේ කල දවස ගෙවුණු සැටි මෙතැන් පටන් විස්තර කරන්නෙම්. 
      මා සිංහලයන්ගේ සිරිත් විරිත්වලට හා ඇඳුම් පැළඳුම්වලට පුරුදු වූයේ කෙසේ දැයි පළමු කොට කියන්නෙමි.මා සිරභාරයට පත් වෙද් දී ඇඳ තිබුණු ඇඳුම් අනුක්‍රමයෙන් ඉරී වැහැරී ගියේ ය.(අලුත් ඇඳුම් මිල දී ගැනීමට මා අතෙහි වූ දෙයිතුවක් නැත) එහෙයින් මගේ විලි වසා ගැනීම මට ම ප්‍රෙහෙළිකාවක් වන තැනට කටයුතු යෙදින.මගේ හැම ඇඳුමකට ම වඩා කල් පැවතුනේ හිස්වැස්ම ය.උඩු කය වැසූ ඇඳුම් ද කලිසම් පමණ වැහැරී ගොස් නොතිබුණේ ය.මගේ කමිසයේ අත් ඉතා පළල් ඒවා වූ බැවින් කමිස අත් දෙක කඩා, එයින් කලිසමක් මසා ගන්නට පුරුදු වූයෙමි.පාවහන් හා මේස් සියල්ල ම ගෙවී නිම වී බොහෝ කල් ය.කමිස අත් දෙකින් සැදූ කලිසම යටි කයටත්, අත් නැති කමිසය උඩු කයටත් හැඳ, අබලන් නොවී තිබුණු හිස් වැස්ම හිසෙහි පැළඳ, දෙපයේ මේස් හෝ සපත්තු හෝ නැතිව පළමු කොට ළඟපාත ඇවිදින්නටත්, පසුව, ගමන් බිමන් යන්නටත් මම පුරුදු වූයෙමි.

      කාලාන්තරයකින් - ඔව්, මෙරටට පැමිණීමෙන් පසුව - මගේ හිසකෙස් නොකපන ලද බැවින් කෙස් වැවී හිණ දක්වා දික්ව වැවී තිබුණේ ය.දික්ව වැවුණු කේශ කලාපය හේතු කොට ගෙන මගේ පිට සම්පුර්ණයෙන් ම වැසි ගිය බැවින් උඩු කමිසයක් එතරම් අවශ්‍ය බවක් මට නොපෙනුණේ ය.එහෙයින් කමිසය කපා තවත් කලිසම් කොටයක් මසා ගෙන, උඩු කය සම්පුර්ණයෙන් ම නග්නව තබන්නට ඊළඟට උගත්තෙමි.කලිසම් කිළිටි වූ විට මා කෙළේ කුමක් ද? ජනයා නොගැවසුණු දියත්තක් ළඟට ගොස් ජලයට බැස කලිසම ගලවා එය සෝදා ගං ඉවුරේ එළා එය අව්වෙන් වියළි යන තුරු ස්නානය කිරීම ය.ස්නානය අවසාන වන්නා හා ම, ඇඳුම ද වියළි කෙළවර වූයෙන්, එය ඇඳ ගෙන මැදිරිය බලා ඒම මගේ සිරිත විය.කලක් මෙසේ යන එන විට, හිණෙහි හැඳි කලිසමත් දිරාපත් වන්නට පටන් ගත.අලුතින් අමුතුවෙන් ඇඳුමක් මසා ගන්නට මුදලකුත් අත මිට නැත.රජතුමන් විසින් සපයනු ලැබුවේ ආහාර පානාදිය පමණකි.විළි වසා ගත යුතු ය.ඒ සඳහා රෙදිපිළි ගත යුතුය.මම කල්පනා කළෙමි.දිගින් දිගටම කල්පනා කළෙමි.කල්පනා කොට මෙබඳු උපක්‍රමයකින් මුදල් සොයා ගන්නට සිතා ගතිමි.

      උදෑසනින් හෝ සැන්දෑවෙහි වෙල් යායට ගොස් කාහටත් නොදැනෙන සේ වී කරල් කඩා ඒවායින් කලිසම් සාක්කු දෙක පුරවා ගෙන මගේ මැදිරියට අවුත්, ඒවා එහි දමා නැවත නැවතත් කලිසම් සාක්කු පුරවා වී ගෙනවුත්, වී ගොඩක් රැස් කොට එය විකුණා රෙදි කඩක් ගන්නට මුදල් උපයා ගැනීම ය, මසිතෙහි පහළ වූ උපක්‍රමය.එහෙත් මෙය කරන්නට ගොස් ගොවියන් හට මා අසු වුවහොත් සොරකම් කිරීමේ චෝදනාවට වැරදි කරුවකු වී රාජ දණ්ඩනයට යටත් විය හැකි බව ඒත්තු යාමෙන් එම අදහස අත් හළෙමි.ඉක්බිති, එයට වැඩි සාධාරණ වූ සිතක් මසිතෙහි පහළ විය.එනම් හිස් වැසුම් ගොතා, එමඟින් මුදල් උපයා ගැනීම ය.

      මම හිස් වැසුම් ගොතන්නට පටන් ගතිමි.මා සතු හිස් වැස්ම1 සිංහලයන්ගේ චිත්තාරාධනය කිරීමෙහි සමත් විය.මේවා විකුණා උපයා ගත් මුදලින් මම රෙද්දක් මිළ දී ගෙන මේ රටේ වැසියන් අඳින්නාක් මෙන් එය අඳින්නට පුරුදු වූයෙමි.රෙද්දට බැසීම, මට මහත් වූ සහනයක් සේ පෙනිණි.හේ එසේම ය.මේ රටෙහි යන්තම් දුරක් යන්නට වුව ද ගං හෝ පසුකර යා යුතුයි.ගඟ දියෙහි බැස මේ ගංගා තරණය කිරීමේ දී ඇඳ සිටින වස්ත්‍රය කර වටක් ඔසොවා බොහෝ විට නග්නව ම ගමන් කළ යුතු වෙයි.එබඳු අවස්ථාවල දී කලිසම් ඇඳීමෙන් අත් වන්නේ අති මහත් කරදරයකි.එහෙයින් කලිසමේ සිට රෙද්දට බැස ගැනීමට සිදු වීම වෙස් වලා පැමිණි ආශීර්වාදයකැ යි සිතා ගතිමි!
{ 1. "රොබට් නොක්ස් හා ඔහුගේ සගයන් ගෙතුවේ යයි වාර්තා වී ඇති හිස් වැසුම් (කැප් තොප්පි) කෙබඳු ඒවා වී දැයි මම නොදනිමි.මේ කාලයේ හිස් වැසුම් දක්නට නැත." (ආනන්ද කේ කුමාරස්වාමි - Medieval Sinhalese Art) }

      පාවහන් නොමැතිව ඇවිදීම ඉතා දුෂ්කර කාර්‍යයකැයි ඔබට ඇතැම්විට සිතෙන්නට පුළුවන.එහෙත් එය එසේ නොවේ.පාවහන් නොමැතිව පිය නගන්නට පුරුදු වීමේ දී, මුල් අවදියේ ඇතැම් විට පාදයෙහි පීඩාවක් දැනෙන්නට පුළුවන.එහෙත් බර වැඩ කරන්නකුගේ අත්වල සම් අනුක්‍රමයෙන් රළු වන්නා සේ ම, පයින් ඇවිදින්නවුන්ගේ පාදයේ සම ද අනුක්‍රමයෙන් රළු බවට පත් වන්නේ ය.මෙසේ පාවහන් නොමැතිව ඇවිදින්නට පුරුදු වීමෙන් පසුව, සපත්තු විරහිතව සිටීම මට මහත් වූ පහසුවක් ලෙස දැනෙන්නට පෙනෙන්නට විය.පාවහන් නොමැතිව ඇවිදීමෙහි අනුසස් කීපයක්, මට දැනුණු  පරිද්දෙන් මෙසේ ය.සපත්තු ඇතිව දිග දුරක් ඇවිදීමෙන් පයැඟිලිවල කරගැට මතු වෙයි.කැපුම් ඉදිමුම් ඇති වෙයි.මඩ වගුරු සහිත තෙත් පොළොවේ ගමන් කිරීම, පාවහන් සහිතව ඉතා දුෂ්කර ය.සපත්තු නොමැතිව ඇවිදීමෙහි එක් අපහසුවක් පමණක් ඇත.එනම් යටි පතුලේ කටු ඇනීමයි.එසේ වුව ද ජනයා නිතර ගමන් කරන මාර්ගවල කටු නැත්තේ ය.ඇවිදීමෙන් ම රළු වූ යටි පතුල්වල සමෙහි කටුවක් ඇණුන ද, එයින් වැඩි පීඩාවක් රුදාවක් ඇති නොවෙයි.පහසුවෙන් ම කටුව ඉවතට ඇද දැමිය හැකි බැවිනි.

      මගේ අත්දැකීමෙන් මට දැනගන්නට ලැබුණු පරිද්දෙන්, ලෝකයේ (අති ශීත රටවල් හැරුණු විට) බොහෝ රටවල වැසියන් පාවහන් නොමැතිව නග්න වූ පාදයෙන් ඇවිදීම ප්‍රිය කරන්නේ ඔවුන්ගේ ස්වාභාවික අවශ්‍යතා අනුව ම විය යුතු ය.මා ලංකාවේ සිරකරු ජිවිතයෙන් මිදී, පලා ගොස්, ඕලන්දක්කාරයන් සමග වාසය කළ දින කීපය තුළ දී ඔවුන් මට පළඳින්නට කලිසම් කබා හා සපත්තු මේස් ප්‍රදානය කළ නමුත්, බල්ලෙකුට කර පටියක් ඇන්ද වූ කලෙක ලෙසින් - ඒවා මට නිකම් විහිළු සේ, කරදර සේ, පෙනෙන්නට පටන් ගත්තේ ය!

      එක් වරම පාවහන් නැතිව ගමන් කිරීම මට ද අපහසු කරුණක් විය.අනුක්‍රමයෙන් - ටිකෙන් ටික - පාවහන් විරහිතව ඇවිදීමට පුරුදු වූයෙමි.සෙසු සැම සත්වයෙකු මෙන් ම මිනිසා ද, ස්වාභාවික ඇඳුමෙන් විසුම් ගන්නා පරිද්දෙන් සර්වබලධාරීන් වහන්සේ විසින් මවන ලැදැයි මම කල්පනා කරමි.ලෝකයේ බොහෝ රටවල වාසය කරන මනුෂ්‍යයින් වෛවර්ණ මෝස්තරයේ ඇඳුම් අයිත්තම්වලින් තම තමන්ගේ ශරීර අලංකාර කරන්නේ ශීතය නිරාවරණය කර ගැනීමටත් වැඩියෙන් විලාසිතාවට ගරු කිරීමක්, ඇබ්බැහි වීමක් වශයෙනැයි සිතේ.ඇත්තක් ඇති සැටියෙන් ම කියතහොත්, මා ලංකාවේ දී අඳින්නට පුරුදු වූ ඉන්දියානු ඇඳුම මගේ ගතට සිතට හා සනීපයට ආශීර්වාදයක් වූ බව කිව යුතු ය.රෙද්දක් ඇඳ , පයෙහි පාවහන් නොදමා, උඩු කය තවත් සිහින් රෙද්දකින් වැසූ විට මේ ඉන්දියානු ඇඳුම සම්පුර්ණ වන්නේ ය."මම සුවපහසු දනවන සුන්දර ඇඳුමට" මම තව ද එක් අංගයක් එකතු කළෙමි.එනම් මේ රටේ ජාතික ලක්ෂණයක් බවට පත් වී ඇති, වියතක් පමණ දිගට වවනු ලබන රැවුලයි.මා ලංකාවේ සිර ජිවිතයක් ගත කළ මුළු කාලය මුළුල්ලේ ම මගේ ඇඳුම මෙය විය.මා සිර බරින් මිදී කොළඹ ඕලන්දක්කාරයින්ගේ ආරක්ෂාව යටතට පත් වූ ඉක්බිති, ඔවුන් මට නැවතත් යුරෝපීය ඇඳුම් ඇන්දවූයේ බලවත් පෙරැත්තෙන් හා මගේ ඉමහත් අකමැත්තෙන් බව මෙහි ලා පල කළ යුතු ය.
      කල් යත් යත්, මට 'සිල්ලර' 'තුනපහ' ආදිය හීන වන්නට වුවත් දෙවියන් හට ස්තෝත්‍ර වන්නට සහලෙන් නම් කිසි දිනෙක කිසි අඩුවක් නො වී ය.මුදල් ද හීන විය. එසේ වුව ද විනෝදයට මෙන් අමුතු බතක් කන්නට සිත දුන් අවස්ථාවල දී ඉහත සඳහන් කළ කළු කොල්ලාත් කැටිව, බිලිපිති ඇතිව ගං තෙරකට ගොස් මසුන් බිලී බා ප්‍රණීත භෝජනයක් පිළියෙළ කර ගැනීම මගේ සිරිත විය.

      එක් දවසක් මගේ කළු කොල්ලාත් කැටිව ගං තෙරක බිලී බාමින් සිටිය දී වයස්ගත මනුෂ්‍යයෙක් එහි පැමිණ කොල්ලා අමතා -

      "උඹලාගේ මහත්මයාට අකුරු කියවන්න පුළුවන්දැ?" යි ඇසී ය.

      "ඔව්!" යැයි මෙහෙකරුවා පිළිතුරු දුන් ඉක්බිති, මහල්ලා එසේ විමසුවේ ඇයි දැ ? යි මම කොල්ලාගෙන් ඇසීමි.මා ඇසූ පැනය මේ යැයි සිතින් සිතා ගත් මහලු මනුෂ්‍යයා මෙහෙකරු අමතා මෙසේ කීය :

      "පරංගින් කොළඹ කොටුව අත් හැර ගිය දවසේ මට ලැබුණා පොතක්.උඹලාගේ මහත්මයාට ඕනෑ නම් මා ඒ පොත විකුණන්නට කැමතියි!"
     
      මෙය ඇසූ මම, මහලු මනුෂ්‍යයා කැටිව ඔහුගේ නිවසට ගොස් පොත කුමක්දැයි බැලීම පිණිස එය ගංතෙරට ගෙන එන ලෙස කොල්ලාට නියම කළෙමි.එය කිසිඳු වැදගැම්මකට නැති පරංගි පොතක් විය හැකියයි සිතුණ ද මේ පොත බැලීමේ කුතුහලයක් මා තුළ පහළ විය.

      මීට ඉහතින් ද ඉංග්‍රීසි මනුෂ්‍යයන් අතර මෙහෙකාරකම් කර පුරුදු වූ කොල්ලා, ප්‍රථම දර්ශනයෙන් ම පොත හැඳින්නේ ය.

      "මහත්මයා ඒක බෛබලයක් - ඒක බෛබලයක් යැ!"යි මොර ගසමින් හෙතෙම මා සමීපයට දිව ගෙන ආවේ ය.මෙය ඇසීමෙන් මා තුළ ඇති වූ ප්‍රීතිය අසීමිත ය.මා ළඟ බෛබලයක් නොවී ය.මේ ජිවිතයේ දී යළිත් බෛබලයක් ලැබීමේ - බැලීමේ - ආශාව ද මා දුර ගසා බොහෝ කල් විය.එහෙයින් ප්‍රීතියෙන් පිනා ගිය මම බිලී පිත්ත පැත්තකට විසි කොට බෛබලය අතට ගතිමි.ගත් සැටියේ මා අතින් පෙරළුණේ බෛබලයේ දහසය වැනි පරිච්ඡේදය ය.එහි මා ඇස ගැසුණු ප්‍රථම ස්ථානය තිස් වැනි පද්‍යය ය.මේ පද්‍යයෙන් ශාන්ත පෝල් අමතා සිරකරුවෙක් මෙසේ අමතයි :

      "විමුක්තිය ලැබීමට මා කුමක් කළ යුතු ද?" මේ පැනයට ශාන්ත පෝල් ගෙන් මෙසේ පිළිතුරු ලැබිණ.

     "ජීසස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනු.එවිට ඔබටත් ඔබගේ නිවසටත් විමුක්තිය ලැබෙන්නේය."

      මෙම මහාර්ඝ ග්‍රන්ථ රත්නය දකින්නට ලැබීමෙන් මා තුළ ඇති වූ ප්‍රීතිය වර්ණනා විෂයාතික්‍රාන්ත ය.එහෙත් දෙවනුව මා තුළ මතු වූ හෘදය ශෝකය හා භීතිය සීමාතික්‍රාන්ත වූයේය.ප්‍රීතිය උදා වූයේ කෙදිනකවත් නොලැබිය හැකි අගනා වටිනා ග්‍රන්ථයක් දක්නට ලැබීමෙනි.ශෝකය හා භීතිය ඇති වූයේ එය මිල දී ගැනීමට තරම් වූ කාසි පනම් මා අත නැති බව මතක් වීමෙනි.

      මේ ලෝකයේ මා සතුව පැවැති එක ම ධනය, එක ම වස්තුව, බූදලය, එක ම එක පගෝදියක් විය."මේ පගෝදිය ගෙන මහල්ලා පොත දුන්නහොත් හොඳයි.නොදුන්නහොත්?"

      මා මෙසේ කල්පනා කළ නමුත් මගේ සේවකයා කල්පනා කෙළේ අන් ලෙසකිනි.මුදලින් කළ යුතු නොයෙක් කටයුතු මතු මත්තෙහි දී වැඩි වැඩියෙන් මතු විය හැකි බැවින් මා සතු එක ම පගෝදිය පොතක් සඳහා වියදම් කිරීම නුවණට නුහුරු බව පල කළ කළු කොල්ලා, එතරම් නොවටිනා දෙයක් දීමෙන් පොත ගත හැකි බව ම කියා සිටියේ ය.එහෙයින් මම ද ඔහුගේ අදහස අනුමත කොට සුළු මුදලකට පොත කේවෙල් කරන්නටත්, බැරිම වුවහොත් පගෝදිය හෝ ගෙවා පොත මිළ දී ගන්නටත් තීරණය කර ගතිමි.
     
      මෙසේ කල්පනා කරමින් සිටිය දී රෑ බෝ විය.එහෙයින් පොත මිළ දී ගැනීමට මගේ සේවකයා පසු දින උදෑසන සිය නිවසට එවන බව මහලු මිනිසාට පවසා අපි ගෙදරට පැමිණියෙමි.රාත්‍රී කාලයෙහි මට ගිය නින්දක් නැත.පොත ලබා ගත හැකි වේදෝ නොවේදෝ යන දෙගිඩියාවෙන් පසු වුණෙමි.දවස පහන් වූ වහා ම, පොත ගැනීමට එදා රෑ ඔහු විසින් ගොතන ලද හිස් වැස්මකුත් ඇතිව මම සේවකයා පිටත් කළෙමි.බලාපොරොත්තුව ඉටු විය.හිස්වැස්ම ගෙන ඒ වෙනුවට බෛබලය දෙන්නට මහලු මනුෂ්‍යයා කැමැති විය.පගෝදිය බේරුණි.මගේ ප්‍රීතිය ඉතිරිණි.
{ 1.Pagoda. රත්රනින් නිමවූ ඉන්දියානු කාසියකි.එවකට ලක්දිව භාවිතා විය. }

     අත්පත් කර ගන්නට ලැබුණු මෙම හස්තසාර වස්තුවෙන් මා තුළ ඇති වූ ආනන්දය ඉමහත් බව අමුතුවෙන් කිව යුතු ද? ජන්ම භූමියෙන් සැතැපුම් දහස් ගණනක් දුරු වූ, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ගැන හෝ වේවයි නාමය ගැන හෝ වේවයි අන්ශුමාත්‍ර වශයෙන්වත් අසා නැති, ඉන්ග්‍රීසි මනුෂ්‍යයකු දෑසට දැක නැති ජනතාවකගෙන් සැදුම් ගත් පරසමුද්‍රගත දූපතක සිරකරුවකු බවට පත් වී සිටින මා වැන්නකුට, මගේ ජන්ම භාෂාවෙන් ම ලියන ලද, මා සකල ලෝකයේ පරමෝත්තම ග්‍රන්ථය හැටියට අභිවාදන පවත්වන බෛබලයක් ලැබීම කොතරම් ප්‍රීතියක් ද? කොතරම් අස්වැසිල්ලක් ද? මේ පොත වූකලී, අසරණ වූ අනාථ වූ මා දෙස බලා, මා කෙරෙහි අනුකම්පාවෙන් දෙවියන් වහන්සේ විසින් ම මා වෙත එවන ලද දේවදත්ත පරිත්‍යාගයකැයි ඒත්තු ගතිමි.ත්පත් කර ගන්නට ලැබුණු මෙම හස්තසාර වස්තුවෙන් මා තුළ ඇති වූ ආනන්දය ඉමහත් බව අමුතුවෙන් කිව යුතු ද? ජන්ම භූමියෙන් සැතැපුම් දහස් ගණනක් දුරු වූ, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ගැන හෝ වේවයි නාමය ගැන හෝ වේවයි අන්ශුමාත්‍ර වශයෙන්වත් අසා නැති, ඉංග්‍රීසි මනුෂ්‍යයකු දෑසට දැක නැති ජනතාවකගෙන් සැදුම් ගත් පරසමුද්‍රගත දූපතක සිරකරුවකු බවට පත් වී සිටින මා වැන්නකුට, මගේ ජන්ම භාෂාවෙන් ම ලියන ලද, මා සකල ලෝකයේ පරමෝත්තම ග්‍රන්ථය හැටියට අභිවාදන පවත්වන බෛබලයක් ලැබීම කොතරම් ප්‍රීතියක් ද? කොතරම් අස්වැසිල්ලක් ද? මේ පොත වූකලී, අසරණ වූ අනාථ වූ මා දෙස බලා, මා කෙරෙහි අනුකම්පාවෙන් දෙවියන් වහන්සේ විසින් ම මා වෙත එවන ලද දේවදත්ත පරිත්‍යාගයකැයි ඒත්තු ගතිමි.
     

2. පරිච්ඡේදය

මපියාණන්ගේ මළගම - බණ්ඩාර කොස්වත්තේ ගත කළ සිර ජීවිතය - මා අත තිබුණු " බැති පුරුදුවෙන් " මා ගාථා කියූ සැටි. පියාගේ අසනීපය - පියාගේ අවසාන ඉල්ලීම - මා අතින්ම සෑරූ වළෙහි පියාණන් භූමි දාන කළ සැටි ! අහෝ, මම නන්නාඳුනන රටක තනි වීමි. අනාථ වීමි. අසරණ වීමි.


පියාගේ මළ ගම
     ර්ෂ 1660 ටේ සැප්තැම්බර් මස 16 වැනි දින කන්ද උඩරට රජතුමා, මාත් මපියාත්, බණ්ඩාර කොස්වත්ත නම් ග්‍රාමයට යැවුයේ ය.ආනන්ද ජනක විවේක ශීලී ස්ථානයක් වූ මෙය මහනුවරින් සැතපුම් තිහක් පමණ උතුරින්, සත්කෝරලය නම් ප්‍රදේශයෙහි පිහිටියේ ය.අපේ සෙසු අය ජිවත් වූ ස්ථානයේ සිට මෙතැනට ඇත්තේ පුරා දවසක ගමනකි.

      අප මෙම ප්‍රදේශයට ගෙන එනු ලැබූ ප්‍රථම වර්ෂයේ උණ රෝගය තදින් පැතිර යාම හේතු කොට ගෙන මෙම ප්‍රදේශය බෙහෙවින්ම දුඃඛිත තත්ත්වයක් උද්වහනය කළා ය.උණ රෝගයෙන් පෙළුණු රටවැසියන් බොහෝ දෙන එම රෝගයෙන් ම මිය ගියහ.මේ රෝග භය හේතු කොට ගෙන, උයා පිහා දෙන්නට කෙනෙකු නිරෝගීව නොසිටීම නිසා, අපට බොහෝ අවස්ථාවල දී කුස ගින්නේ පසු වන්නට සිදු විය.
      මා අත තිබුණු 'බැති පුරුදුව' (The Practice of Christianity) නම් පොතත්, රෝගර් මහතාගේ 'ක්‍රිස්තියානි පුරුදුව' නම් ලත් පොත් පොඩිත්තත් මේ අවාසනාවන්ත කාලයේ අපගේ තනි නොතනියට සිටි මිත්‍රයෝ වුහ.දවස පුරා නිවසෙහි දෝ හෝ නොහොත් සිරගෙයි සිටීමෙන් විඩාවට පත් වූ විට සන්ධ්‍යා සමයේ වෙල් එළියේ ඇවිදීම අපේ සිරිත විය.

      අප ද උණ රෝගයෙන් පීඩා වින්ද යුතුය යි දෙවියන් වහන්සේ තීරණය කරන තුරු, මෙපරිද්දෙන් අපි දවස් ගැලවීමු.හේ එසේ ම ය.අපට ද උණ රෝගය වැළඳුනේ ය.මා රෝගී වීමටත් වඩා මගේ සංවේගයට හේතු වුයේ පියාගේ රෝගය ය.පියාණන් හට උවටැන් කරන්ට ඉඩක් නොලැබෙන පරිද්දෙන් මට ද රෝග ග්‍රස්ත ව පියාගේ දුක දැක දැක ඉන්නට සිදු වීම මගේ ජිවිතයේ කටුකතර සිද්ධියක් හැටියට සැලකිය හැක්කේ ය.මා උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දකින බොහෝ අවස්ථාවල දී මපියා මට මෙසේ කියන්නට පුරුදුව සිටියේ ය :

      "නැවට පණිවුඩය ගෙන ගොස් නැවත ආපසු එන්නැයි ඔබට නියම කිරීමෙන් මා ඔබට කළේ විපතක්.ඔබ පියාට යුතුකම සැලකීම නිසා මෙසේ සිරකරුවෙක් වුණා!මා දැන් මහලු නිසා මට වැඩි කලක් සිර දුක් විඳින්නට සිදු වන්නේ නැහැ; එහෙත් ඔබ තරුණයි.දෙවියන් වහන්සේගේ අනුකම්පාව ඔබට නොලැබුණහොත් ඔබට ඉතා දිගු කාලයක් මේ සිර ජීවිතය ගත කරන්නට සිදු වනු නියතයි.ඔබට හැම විට ම දේවාශිර්වාදය ලැබේවා'යි මා නිරතුරුව ම යදිනවා!"

ඩේවිඩ් කරුණාරත්නයන් විසින් පරිවර්තනය කොට රචිත " එදා හෙළ දිව " පොතෙන් උපුටා ගන්නා ලදී..