Sinhalese translation of AN HISTORICAL RELATION OF THE ISLAND OF CEYLON by Robert Knox published by Richard Chiswell at London, 1681
අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න
Small Medium Large Larger Largest

4. පරිච්ඡේදය

මම ගෙදොරක් සාදා ගතිමි.අපේ සහෝදර සිර කරුවන් අතුරින් මට පළමු කොට මුණ ගැසුණු තැනැත්තා -රජ්ජුරුවන්ගේ පොල් වත්තෙහි මා සැදු නිවාසය - එහි බිත්ති සුදු හුණු ගෑමෙන් මා නො දැනුවත්වම කළ රාජ අපරාධය ! සුදු සිර කරුවන් කෙරේ සිංහලයන් තුළ පැවති නිසැක සැකය !


ගෙදොරක් සාදා ගතිමි 
      මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට මුණ ගැසෙන විට, මගේ පියාණන් මිය ගොස් පුරා අවුරුද්දක් ඉක්ම ගොස් තිබුණේ ය. අවුරුද්දකට පසු, නිලධාරීන් හට බලවත් ලෙස කන්නලවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපේ කණ්ඩායමේ කෙනෙක් වූ (දැන් මා වැනි සිරකරුවෙකි) ජෝන් ග්‍රැගරි හට මා බලන්නට එන්නට අවසර ලැබුණේ ය. එහෙත්, ඒ පැය විසිහතරකට වැඩි කාලයක් එකට පසුවීමේ තහනම ඇතිව ය.

     පුරා වර්ෂයකට පසු සහෝදර සිරකරුවකු මුණ ගැසෙන්නට ලැබීම ඇසට රසඳුනක් බඳු විය. එසේම අපගේ මුණ ගැසීම ජෝන් ග්‍රැගරිගේ ද අසමාන ප්‍රසාදය පිණිස විය. මොහු මුණ ගැසෙන තුරු අපේ අනෙක් සිරකරුවන් පිලිබඳ මුදු මහත් කිසිඳු තොරතුරක් දැන ගන්නට ඉඩක් හෝ මගක් මට නො ලැබුණේ ය. එහෙත් ඔවුන් සියලු දෙන ම දවසක ගමනකට දුරින් වාසය කරන බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ. ග්‍රැගරි හට දෙන ලද අවසරය පූර්වාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින්, මට ද ඔවුන් දකින්නට යන්නට අවසර දෙන ලෙස මම ද කන්නලවු කෙළෙමි. මදක් කල් පසුවී වුව ද එම අවසරය අන්තිමේ දී මට ලැබිණ. ඉතා අසන්නයෙහි ම වාසය කළ ඉංග්‍රීසීකාර මනුෂ්‍යයාගේ නිවසට මම ගියෙමි. මා ඉතා සමාදරයෙන් පිළිගත් හෙතෙම ඊළඟ, දිනයේ දී ඒ ආසන්නයේ වාසය කළ අපගේ මිතුරන් සංක්‍යාවක් ම ඒ නිවසට කැන්දා ගෙන ආවේ ය. අපේ කට්ටිය අටදෙනෙකුගෙන් සමන්විත විය.

    දින දෙක තුනක් ප්‍රීති සමාගමයෙන් හා ප්‍රිය සම්භාෂණයෙන් ගත කොට, නැවත හමුවන බවට ගිවිසුම් දී, ඔවුනොවුන්ගෙන් සමුගෙන අපි සිය සිය නිවෙස් බලා පිටත් වුනෙමු.එකිනෙකාගේ වාසස්ථාන දැක - දැන ගන්නට ලැබීම සිතට ධෛය්‍යයක් විය.

    මෙම රටෙහි (මපියාණන් අවසන් හුස්ම හෙළු බණ්ඩාර කොස්වත්ත නම් ගමෙහි) අවුරුදු ගණනක් වාසය කිරීමෙන් පසු, ඔවුන්ගේ භාෂාව මට තේරෙන්නට විය.ටික ටික කථා කරන්නට ද පුළුවන් විය.උණ රෝගය ද සුව විය.මට වාසය කරන්නට දී තිබුණු, ගොවියෙකුගේ නිවසට යාකොට තනා තිබුණු අපිරිසිදු මැදිරියේ ජීවත්වීම මට තිත්ත වන්නට විය.

     මා වාසය කළ නගරයට ඉතා ආසන්නයෙහි කන්ද උඩරට මහරජතුමාට අයත් වූ ඉතා සශ්‍රීක ලෙස වැවුණු සිත්කලු පොල් උයනක් විය.මෙහි ගෙයක් තනා ගැනීමට මා තුළ පැවැති බලවත් ආශාව නිලධාරීන් ඉදිරියේ තැබීමෙන් පසු ඒ සඳහා අවසරය දෙන්නට ඔවූහු ඉතා කාරුණික වූවෝ ය.හුදු අවසරයෙන් නොනැවතී, මගේ ගෘහ කර්මාන්තය සම්බන්ධයෙන් ඔවූහු මට උපකාර ද වූවෝ ය.

     ගෙය තනන්නට පටන් ගැනීමෙන් පසු එය නිම කර ගන්නා තෙක් මා තුළ ඉස්පාසුවක් නැති විය.අන්තිමේ දී ගෙය තනා නිමකර ගතිමි.එහෙත් සාදා නිම වූ මොහොතේ, වනගත හස්තියෙකුගෙන් එය විනාශ නො වී බේරුණේ යම්තමිනි.ඒ සිද්ධිය මෙසේ ය.

     මෙම අලුත් නිවසට නුදුරින් මා සූකර කොටුවක් තනා තිබුණේ ය.මෙම කොටුව තනා තිබුණේ කිතුල් කදන් වලිනි.වල් අලි කිතුල් කදන් පලා එහි බඩය කෑමෙහි රුසියෝ ය.කිතුලේ ඉව වැටුණු හස්තියෙක් දවසක් දා රාත්‍රී මෙම කොටුවට කිට්ටු කළේ ය.මාත්, මගේ සේවකයාත් නිවසෙහි සිටින විට ඊට යාබදව පිහිටි සූකර කොටුව ආසන්නයෙන් හස්තයෙකු ගේ නාදයක් ඇසිණි.මමත් සේවකයාත් හුළු අතු අල්වා ගෙන එතැනට දිව ගියෙමු.එවිට අපිට දක්නට ලැබුණේ කිතුල් කදන් කෑමෙහි ආශාවෙන් සූකර කොටුව බිද විනාශ කරමින් සිටි දැවැන්ත හස්තියෙකි.එළි දල්වා ගෙන අප කළ ඝෝෂාව හේතු කොට ගෙන, කොටුව බිදීම එතෙකින් නවත්වා, මගේ නිවාසය ද එහෙයින් ම බේරා, ඇතා වනයට ම යන්නට ගියේ ය.ගිනි එළියට ඇතා භය ය.ගොවියන් බොහෝ විට ඔවුන්ගේ ගොවිපලවල් වල් අලින්ගෙන් බේරා ගන්නේ විශාල ගිනි මැල දල්වා තැබීමෙනි.මෙම ගුරුකම අනුව එදා රාත්‍රියේ අපි ගිනි මැලයක් දල්වා තැබීමි.ඊට පසු අලියා නොපැමිණියේ ය.

     කරන්නට සෙසු කටයුත්තක්  නැතිව උකටලීව සිටි මට මෙම ගෘහ කර්මාන්තයෙහි නියුක්ත වීමට ලැබීම ප්‍රීතියක් විය.මගේ කාලය ප්‍රයෝජනවත් ව ගෙවී ගියේ ය.තනා ගන්නා ලද මෙම නිවසට කාමර දෙකක් විය.මුළුතැන්ගෙය හැටියට ප්‍රයෝජනය ගන්නා ලද කාමරය මගේ සේවකයාගේ කුටිය විය.අනෙක් කාමරය මගේ පෞද්ගලික කුටිය හැටියට පාවිච්චි කළෙමි.මා මෙහි බිත්ති බැද ගත්තේ උස් අතට කොටු සිටුවා, හරස් අතට ද කෝටු දමා වරිච්චි බැද ඒ වරිච්චි  මැද දෙපැත්තෙන් මැටි ගැසීමෙනි.පළමු කොට කටු මැටි ගැසීමෙන් පසු, භිත්ති වේලෙන්නට හැරීමි.මෙසේ වියලී යෑමේ දි බිත්ති ඉරි තැලූ නමුත් දෙවැනි තුන්වැනි වරටත් මැටි බදාමයක් ගැසීමෙන් පසු ඉරිතැලීම නැවතිණ.මෙහි දී සැලකිය යුතු එක් කරුණක් නම්, බිත්ති බැදීමේදී, අපේ රටේ මෙන් මේ රටේ `මේසන්` හැදි පාවිච්චි නොකරති.දෙවැනි මැටිය ගසා බිත්තිය මෘදු කිරීම පිණිස ඔවුන් පාවිච්චි කරන්නේ අත්ල ය. අත්ල තෙමා බිත්තියේ ඇද්දීමෙන්, එහි මතු පිට මෘදු මොලොක් වන්නේ ය.මැටි ගැසීමෙන් සෑහීමකට පත් නොවූ මම හුණු කපරාරුවක් ද අතින් ම කෙළෙමි.එවිට මගේ නිවස සුදෝ සුදුව බැබලෙන්නට පටන් ගතී.

4 comments:

  1. ඔබ මෙය ලිවීම නවතා දමා ඇති සේ හැඟේ..

    ReplyDelete
  2. කරුණාකර නැවතත් ලියන්න..

    ReplyDelete

ඩේවිඩ් කරුණාරත්නයන් විසින් පරිවර්තනය කොට රචිත " එදා හෙළ දිව " පොතෙන් උපුටා ගන්නා ලදී..